එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පලස්තීනය සම්බන්ධ යෝජනාවලදී ශ්‍රී ලංකා රජය ලබා දුන් නොපැකිලි සහයෝගයට පලස්තීන රජය විශේෂ ස්තූතිය පළ කරන බව ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් අයි. එම්. කලීල් මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා එම අමාත්‍යංශයේදී මුණ ගැසුණු අවස්ථාවේදීය.
පලස්තීන ජනතාව මුහුණ දෙන අර්බුද හමුවේ ශ්‍රී ලංකා රජය දක්වන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් කෘතඥතාව පළ කරන බව සඳහන් කළ තානාපතිවරයා දශක ගණනාවක සිට ජාත්‍යන්තර තලයේදී පලස්තීන අයිතිවාසිකම් වෙනුවෙන් ශ්‍රී ලංකාව පෙනී සිටීම සම්බන්ධයෙන් පලස්තීන ජනතාව සිය ප්‍රසාදය පළ කරන බවද එහිදී සඳහන් කළේය.
තවද අමාත්‍යවරයා , පලස්තීන විදේශ අමාත්‍යවරයාට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා කරන ලද ආරාධනය පලස්තීනයට කරන ලද ඉහළ ගෞරවයක් ලෙස සලකන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.


