හදිසි ආපදා අවස්ථා සඳහා මුහුණ දීමට සියලු අංශ සූදානමින් - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

හදිසි ආපදා අවස්ථා සඳහා මුහුණ දීමට සියලු අංශ සූදානමින් - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක
  • SocialShare:

හදිසි ආපදා අවස්ථා සඳහා මුහුණ දීමට සියලු අංශ සූදානමින් පසුවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කරයි.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
නොවැම්බර් 17 සිට අද උදෑසන 06 දක්වා ගතවූ කාලය තුළදී ගංවතුර, ගස් කඩාවැටීම් නායයාම් ඇතුළු ස්වභාවික ආපදාවන් නිසා මරණ 10ක් වාර්තා වී ඇතැයිද මේ වන විට නුවර එළිය, රත්නපුර සහ යාපනය යන ප්‍රදේශ වල රජය විසින් ආරක්ෂිත කඳවුරු 03ක් පවත්වාගෙන යන බවද සදහන් කළේය.
යාපනය ප්‍රෙද්ශයේ ඇතිවූ සුළං තත්ත්වයේ බලපෑම නිසා මෙලෙස කඳවුරක් පවත්වාගෙන යන බව පැවසූ අමාත්‍යවරයා එම කඳවුරු තුනේ පවුල් 19කට අයිති පුද්ගලයන් 67 දෙනෙකු දැනට රඳවාගෙන එම සහන කටයුතු සිදුකරමින් සිටින බවද අවධාරණය කළේය.
දිස්ත්‍රික් 12ක් සදහා නායයාම් අනතුරු ඇඟවීම් කර ඇතැයිද ගාල්ල, මාතර, රත්නපුර දිස්ත්‍රික්ක තුනෙහි ප්‍රධාන වශයෙන්ම අපොස උසස්පෙළ විභාගයට මුහුණදෙන දරුවන්ට ප්‍රවාහන කටයුතු සැලසීම වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය මැදිහත් වෙමින් සිටින බවද සදහන් කළේය.
එළඹෙන දින දෙකේදී ලංකාවට පහළින් සහ ලංකාව දෙපස යම් අවපීඩන කලාපයක් වර්ධනය වෙමින් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇතැයිද ඒ සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන, ප්‍රාදේශීය ලේකම්වරු සහ දිස්ත්‍රික් ලේකම්වරු අවශ්‍ය පියවර ගැනීමට සූදානම් කරමින් පවතින බවද අවශ්‍ය අවස්ථාවක මැදිහත් වීමට ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සූදානමින් පසුවන බවද පැවසුවේය.
මෙවර අයවැයේදී ජනාධිපතිවරයා ගංවතුර අවදානම් සහිත කලාප කිහිපයකට ගංවතුර පාලනය පිළිබදව කටයුතු ආරම්භ කිරීමට කලු ගඟ, ගිං ගඟ ඇතුළු ගංගා කිහිපයක ගංවතුර පාලනය සදහා අවශ්‍ය කරන ව්‍යාපෘති සකස් කිරීමට අවශ්‍ය මූලික ප්‍රතිපාදන මෙම අයවැයෙන් ලබාදී ඇතැයිද පැවසුවේය.
මේවා වසරකින් කළ හැකි වැඩ නොවන බවද අවශ්‍ය ශක්‍යතා අධ්‍යයන වාර්තා සිදුකර, අවශ්‍ය වාර්තා සදහා මූලික වියදම් ලබාදෙන බවද එම කටයුතු ලබන වසරේ ආරම්භ කළ හැකි නම් එයට රජය මුදල් වෙන් කිරීමට සූදානම් බවද පෙන්වා දුන්නේය.
මේ ආදී ලෙස ගංගා කිහිපයකම ගංවතුර වැළැක්වීමට අවශ්‍ය මැදිහත් වීමක් විද්‍යානුකූලව සිදුකරමින් සිටින බවද පැවසුවේය. ගංවතුර ඇතිවීමට හේතු කිහිපයක් බලපාන බවද, එනම් වතුර බැසයාමේ පද්ධතියේ පවතින දුර්වලතාවයන්, එම පද්ධති ප්‍රමාණවත් නොවීම, ඇතැම් ස්ථානවල පවත්නා අනවසර ඉදිකිරීම් සහ ඇතැම් නගර ඉදිකිරීමේදී බලපෑ ප්‍රශ්න වැනි හේතූන් ගණනාවක් පවතින බවද පැවසුවේය.
මේවා සියල්ල එක් රැයකින් ඉවත් කිරීමට නොහැකි බවද ඒ සදහා අවශ්‍ය පියවර ගැනීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට අවශ්‍ය ප්‍රතිපාදන මෙම අයවැයෙන් වෙන්කරන බවද වැඩිදුරටත් පැවසුවේය.