තුල්හිරිය සීමාසහිත කාබුල් ලංකා පෞද්ගලික සමාගමේ සහ ජාතික පේෂකර්ම සංස්ථාවට අයත්ව තිබු තුල්හිරිය හා පූගොඩ පේෂකර්මාන්තශාලාවල රැකියා අහිමි වූ මෙතෙක් වන්දි ලබාගෙන නොමැති සේවකයන් 184දෙනකුහට සහන සැලසීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
කම්කරු ඇමැති අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (25) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
ඒ අනුව තුල්හිරිය සීමාසහිත කාබුල් ලංකා පෞද්ගලික සමාගමේ සේවකයන් 15 දෙනකුට හා ජාතික පේෂකර්ම සංස්ථාවට අයත්ව තිබු තුල්හිරිය හා පූගොඩ පේෂකර්මාන්තශාලාවේ සේවකයන් 169 දෙනකුට වන්දි ගෙවීමට අනුමැතිය හිමි වූ බව ඇමැතිවරයා කීවේය.
ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
වසා දැමීම හේතුවෙන් අගතියට පත් සේවකයන්ට වන්දි හා අනෙකුත් ව්‍යවස්ථාපිත දීමනා ගෙවීමට පියවර ගෙන ඇති අතර, එලෙස වන්දි ලබා නොගත් තවත් සේවකයන් 15දෙනෙකු සිය වන්දි හිමිකම් ලබා දෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා. එසේම, ජාතික පේෂකර්ම සංස්ථාවට අයත්ව තිබූ තුල්හිරිය සහ පූගොඩ පේෂකර්මාන්තශාලාවල සේවය කළ 1978දී රැකියාව අහිමි වූ සේවකයන්ට වන්දි ගෙවීම සඳහා 2025‑05‑26 දින පැවති ඇමැති මණ්ඩල රැස්වීමේදී ලබා දෙන ලද අනුමැතිය පරිදි මේ වන විට සේවකයන් 1,656ක් සඳහා ගෙවීම් සිදු කර තිබෙනවා. මුල් අවස්ථාවේදී ඉදිරිපත් වී නොමැති තවත් සේවකයින් 169දෙනෙකු මේ වන විට සිය අයදුම්පත් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව, තුල්හිරිය සීමාසහිත කාබුල් ලංකා පුද්ගලික සමාගමේ සේවකයන් 15දෙනා වෙනුවෙන් වන්දි සහ අනෙකුත් ව්‍යවස්ථාපිත හිමිකම් ගෙවීම සඳහා සහ තුල්හිරිය සහ පූගොඩ පේෂකර්මාන්තශාලාවල සේවය කර රැකියාව අහිමි වූ තවත් සේවකයන් 169ක් සඳහා ගෙවීම් සිදු කිරීමට අනුමැතිය හිමිවුණා.


