කාසල්රී ජලාශය (Castlereigh Reservoir) ජලතර ගුවන්තොටුපොලක් (Water Aerodrome) බවට සහතික කිරීම සඳහා වන පරික්ෂණයක් අද (18) ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ සිවිල් ගුවන්සේවා පරික්ෂකවරුන් විසින් ක්‍රියාත්මක කරන ලදි.
එය සනිටුහන් කරමින් සිනමන් ගුවන් සමාගම විසින් පර්යේෂණ ගුවන් ගමනක් (Test Flight) ක්‍රියාත්මක කල අතර ඒ සඳහා එම ගුවන් සමාගම සතු සෙස්නා 208 (Cessna 208) මාඳිළියේ ගුවන් යානාවක් භාවිතා කලේ ය.
ආරක්ෂක හේතූන් මත මෙතෙක් දිවයිනේ බොහෝ ජලාශ වෙත දේශීය ගුවන් ගමන් ගමන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පැවති බාධා ඉවත් කරමින් නව රජයේ ගුවන්සේවා සහ සංචාරක කර්මාන්ත සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක සැලසුමෙහි එක් අදියරක් ලෙස කාසල්රේ ජලාශයේ (Castlereigh Reservoir) පිහිටි ජලතර ගුවන්තොටුපොල සහතික කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙයි.
කටුනායක ගුවන්තොටුපොල වෙත පැමිනෙන සංචාරකයන් හට කෙටි වේලාවකින් සහ ඉතා පහසුවෙන් මධ්‍යම කඳුකරය සහ ඒ ආශ්‍රීත සංචාරක ගමනාන්ත වෙත කාර්යක්ෂමව ගමන් කිරීමට මෙම නව ගුවන් ගමන් සහායක් සපයයි.
එමෙන්ම මෙයට අමතරව පසුගිය දා කෙළඹ බේරේ වැව පිහිටි ජලතර ගුවන්තොටුපොලෙ වෙත යලි ගුවන් ගමන් ආරම්භ වීම සනිටුහන් කල අතර, කොළඹ වරාය නගරය සඳහා ද මෙවැනි ජලතර ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය අනුමැතිය ලබාදීම සඳහා පරික්ෂා කිරීම් සිදුකරමින් පසුවන බව ද, කොළඹ නගරය සඳහා නව හෙලිකොප්ටර් නැවතුම් අංගන දෙකක් හඳුන්වා දීම සඳහා ද කටයුතු කරමින් පවතින බව ද, මේ වන විට ජලතර ගුවන්තොටුපොල 22 ක් නිසි පරික්ෂා කිරීම් වලින් පසුව මෙහෙයුම් සඳහා අනුමත කර ඇති බව ද ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසයි.
වරාය සහ ගුවන්සේවා අමාත්‍යතුමන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යතුමන්ගේ මගපෙන්වීම මත සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න, අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් රාජ්‍ය හා පෞද්ගලික ව්‍යවසාය දිරිගන්වමින් සංචාරක ව්‍යාපාරයට මුල්තැන දෙන අභ්‍යන්තර ගුවන්සේවා සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් ක්‍රියාවට නංවා ඇත.
ජල පෘෂ්ඨ මත සහ ගොඩබිමෙහි ගුවන් මෙහෙයුම් සිදු කල හැකි ගුවන් යානා (Amphibian Aircraft) මාඳිළින් සිනමන් ගුවන් සමාගම සතු වන අතර ඉදිරියේ දී සංචාරක ව්‍යාපාරයට අත්වැලක් සපයමින් සිය ගමනාන්ත වර්ධනය කිරීමට ද ජෝන් කීල්ස් සමූහයට අනුබද්ධිත සිනමන් ගුවන් සමාගම අපේක්ෂා කරයි. මේ වන විට හැට්න් (කාසල්රී ජලාෂය) ද ඇතුළුව කොග්ගල, දික්වැල්ල, වික්ටෝරියා, ග්‍රෙගරි සහ දියවන්නා යන ජලතර ගුවන්තොටුපොල වෙත ද මඩකලපුව, සීගිරිය, වීරවිල සහ ත්‍රීකුණාමලය යන දේශීය ගුවන්තොටුපොල ඇතුළු දේශීය සංචාරක ගමනාන්ත 10 ක් වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කරමින් සිටින අතර සංචාරක කර්මාන්තයට අත්වැලක් සපයමින් එය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම එම ගුවන් සමාගමෙහි අපේක්ෂාවයි.
සිනමන් ගුවන් සමාගම ශ්‍රී ලංකාවේ ජලතර ගුවන් ගමන් (Sea Plane Operations) දැනට ක්‍රියාත්මක කරන එකම ගුවන් සමාගම ලෙසින් ද කටයුතු කරමින් සිටී.
මෙම අවස්ථාවට
- ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න මහතා
- සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා
- ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ (ගගන යාත්‍රාංගන) රංගන සමන්ප්‍රිය මහතා
- ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂිකා (මානව සම්පත් හා දේපළ කළමණාකරන) දිලානි කරුණාරත්න මහත්මිය
ඇතුළු නිලධාරීන් පිරිසක් එක්විය
ගුවන් ගමන පිළිබඳ තොරතුරු පහත පරිදි වේ.
පිටත්වීම - කටුනායක ගුවන්තොටුපොල - පෙ.ව. 10 00
ලඟාවීම - කාසල්රී ජලාශය, පෙ. ව. 10 30
සම්බන්ධීකරණය - ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය, අධ්‍යක්ෂ රංගන සමන්ප්‍රිය මහතා -076 9165959
- ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය, නිලන්ත තෙන්නකෝන් මහතා - 071 1339765
(මාධ්‍ය සම්බන්ධීකරන කටයුතු)


