කාන්තාවක් වීම, සමාජය තුල අවවරප්‍රසාදිත අයෙක් වීමට හේතුවක් නොවිය යුතුයි - නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර

කාන්තාවක් වීම, සමාජය තුල අවවරප්‍රසාදිත අයෙක් වීමට හේතුවක් නොවිය යුතුයි - නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර
  • SocialShare:

කාන්තාවක් වීම, සමාජය තුල අවවරප්‍රසාදිත අයෙක් වීමට හේතුවක් නොවිය යුතු බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසුවේය.

නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාලඹේ, ශ්‍රී රාහුල බාලිකා මහා විද්‍යාලයේ ‘රහල් ස්වරාභිෂේක’ වාද්‍ය වෘන්දය එළිදැක්වීමේ උළෙලේදී අදහස් දක්වමිනි.

එම අවස්ථාව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, ‘අපේ ගම’ පරිශ්‍ර රංග පීඨයේ දී ඊයේ (2025.10.17) දින උත්සවාකාරයෙන් සිදු කෙරිණි.

ශ්‍රී රාහුල පාසල් දියණියන්ගේ ගායන, වාදන දක්‍ෂතාවලින් විචිත්‍රවත් වූ ‘රහල් ස්වරාභිෂේක’ උත්සවයට පැමිණ සිටි පිරිස අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.

‘මේ ප්‍රසංගය පළමු වතාවට ඉදිරිපත් කරනවා කියල අපිට දැනුනෙ නැහැ. ඉතා හොඳින් පුහුණුවීම් සිදුකරල, දක්‍ෂතා පෙන්නුම් කළ අවස්ථාවක් ලෙස මේ අවස්ථාව හඳුන්වන්න පුළුවන්. මෙලෙස සාර්ථක ප්‍රසංගයක් ඉදිරිපත් කිරීමට සහය වූ සියලු දරුවන්ටත් ඒ හා කැපවුනු සියලු දෙනාටමත් ස්තුතිවන්ත වෙනවා

ඔබේ අතේ තියෙන්නේ වයලීනයක්, ගිටාරයක් නෙවෙයි. ඒ තියෙන්නේ ආදරය, මනුශ්‍යත්වය.

මේ ප්‍රසංගයෙන් එහාට ගමන් කරන්න, ඉදිරි ඉලක්ක වෙත ළඟාවෙන්න මෙය අවස්ථාවක් කරගන්න. මේ රටේ දක්‍ෂතම වයලින් ශිල්පියා, තබ්ලා වාදකයා වෙන්න අධිෂ්ඨාන කරගන්න. කාන්තාවක් වීම, සමාජය තුල අවවරප්‍රසාදිත අයෙක් වීමට හේතුවක් වෙන්න බෑ.

වෘත්තීය වටිනාකම් ලබාදෙන ක්‍ෂේත්‍ර ගණනාවක් විවර කරමින් ලබන වසරේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුලින් දරුවන්ට පරිවර්තනීය යුගයක් නිර්මාණය කරන්න රජය මැදිහත් වෙනවා.’

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ, ජයවර්ධනපුර කළාප අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා සමන්මලී දිනමුණි, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා දිනේෂිකා ගුණරත්න, බස්නාහිර පළාත් පෙර පාසල් අධ්‍යක්‍ෂිකා මිහිරි අනුරාධා සමරකෝන්, රාහුල බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි තනූජා නිශාදි රන්ගොඩගේ, රංගකලා උපදේශක සනත් විමලසිරි යන මහත්ම මහත්මීහු සහ පාසල් දරුවන්, දෙමව්පියන්, ආදි ශිෂ්‍යාවන්, පාසල් සංවර්ධන කමිටු සාමාජිකයින් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.