අනාගත ලෝකයට ගැලපෙන ශ්‍රී ලාංකීය තරුණයෙක් හෝ තරුණියක් නිර්මාණය කරගැනීමත්, අපේ කම, අපේ සංස්කෘතිය, අපට ගැලපෙන දේ, අනාගත දැනුම, තාක්ෂණය ආදී සියල්ල එකතු කරගත් රට ගොඩනගන පෙරගමන්කරුවා නිර්මාණය කරගැනීම තරුණ ප්‍රතිපත්තියේ අරමුණ බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (17) ජාතික තරුණ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත්කිරීම පිළිබඳව දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයත් ලෝක ජනගහන අරමුදලත් එක්ව මෙම ජාතික තරුණ ප්‍රතිපත්තිය පිළියෙල කරන බව පැවසූ අමාත්‍යවරයා අප රටේ තාරුණ්‍යයට නිශ්චිත අනාගතයක් සහ දැක්මක් සහිත තරුණයෙකු මේ මොහොත වෙනකන් නිර්මාණය කරගැනීමට නොහැකි වූ බව සිහිපත් කළේය.
එමෙන්ම මෙරට තාරුණ්‍යය අසරණ වී කිසිවක් කරකියාගත නොහැකිව ඇතමුන් රටින් පිටවී යන සහ සිය සුදුසුකම් වලට සරිලන රැකියාවක්, යහපත් ජීවිතයක් නොමැතිව තාරුණ්‍යයේ තමන්ට අත්විඳීමට ඇති දේ අත්විඳිය නොහැකිව ගැටලු රැසකට මුහුණ දී ඇතැයිද පැවසුවේය.
මෙලෙස ගැටලු රැසක සිටින ලාංකීය තාරුණ්‍යය මින් ඉදිරියට ගෙනගොස් දියුණු තරුණයෙකු බවට පත් කිරීමට මෙම ජාතික තතරුණ ප්‍රතිපත්තිය පිළියෙල කරන බවද පැවසුවේය. අප රට ගොඩගැනීමේ පෙරගමන්කරුවන් ලෙස මෙරට තරුණ තරුණියන්ට මැදිහත් වීමට සිදුවන බවද එලෙස අනාගතය භාරගන්නා තරුණයා දැක්මක් සහිත අනාගත ලෝකයට ගැලපෙන තරුණයෙක් නිර්මාණය කරගැනීමේ වැදගත්කමද අවධාරණය කළේය.


