"මාතෘභූමිය "සිහින ගමනාන්තයක් "දක්වා ගෙනයාමට නව රජයට ශක්තියක් ඇති බවට ජනතාව තැබූ දැඩි විශ්වාසය අපි ආරක්ෂා කරනවා ....." - අමාත්‍ය බිමල් රත්නායක
ජනාධිපති ලේකම් කාර්යාලයේ හා ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයෙහි මඟ පෙන්වීම හා සම්බන්ධීකරණය මත ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ආරම්භ කරන ලද, “සිහින ගමනාන්තය” ව්‍යාපෘතිය යටතේ, ප්‍රතිසංස්කරණය කර නවීකරණය කිරීමට යෝජිත මහනුවර දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු පසුගියදා (30) පස්වරුවේ ඇරඹිණි.
" පොහොසත් මෙන්ම ලස්සන ජීවිතයක් ගොඩනගන්න, ජනතාව විසින් බිහිකරගත් ආණ්ඩුවට මේ වනවිට වසරක් ගෙවී ගොස් තිබෙනවා. ලස්සන ජීවිතයක් ගොඩනගන්න නම්, අනෙකුත් ලස්සන සාධක අතර ලස්සන මිනිසුන් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ හිත ලස්සන මිනිසුන්. මනුස්සකමෙන් පොහොසත්, පොදු ස්ථාන රැකගැනීමට කැපවෙන මිනිසුන් නොසිටියොත්, අපි විසින් ගොඩනගන මේ ලස්සන පරිසරයට හානි විය හැකියි. මිනිසාගේ ආකල්පමය වෙනසක් ඇති කිරීමට නම්, මිනිසා ජීවත්වන වටපිටාව මෙන්ම නායකත්වය විසින් ලබාදෙන ආදර්ශය වඩාත් වැදගත් වනවා. ඒ අයුරින් සලකා බලනවිට, ලස්සන පරිසරයක් ගොඩනැගීම සාමූහික වගකීමක්. මේ රටේ ජනතාව ලබාදුන් අලුත් ජනවරමක් තිබෙනවා. ඒ ජනවරමට අනුව රට පොහොසත් කරනවා මෙන්ම ලස්සන කිරීමටත් වගකීමක් තිබෙනවා. අලුතින් ගොඩනගනවා මෙන්ම, තිබෙන කැත අයින් කළ යුතුයි. මේ වනවිට අධිකරණ ක්ෂේත්‍රයේ පවතින් ඒ කැත අයින් කරමින් සිටිනවා. රටේ ජනතාව තුළ විශ්වාසයක් තිබෙනවා අපට මේ මාතෘභූමියේ සිහින ගමනාන්තය දක්වා යා හැකි බවට. ජනතාව විසින් අප කෙරෙහි තැබූ ඒ විශ්වාසය රකිමින්, ඔවුනු ප්‍රාර්ථනා කල ඒ වෙනස ඔවුන්ට ලඟාකරදීමට, ජනතාව ලබාදුන් ජනවරම තුළින් කැපවී කටයුතු කරනවා "යැයි ප්‍රවාහන මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කරයි.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනෙහි මූලික හරය වන රාජ්‍ය අංශය, පුද්ගලික අංශය හා පොදු මහජනතාවගේ සහභාගීත්වය මනා ලෙස හුවා දක්වමින් මෙම වැඩසටහන සඳහා ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සමඟ ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ පෞද්ගලික අංශයේ සහභාගීත්වය මත හා එම අනුග්‍රහයෙන් රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් ලෙස NIO Engineering සංවිධානය, “ක්ලීන් මරදාන” වැනි විවිධ සංවිධාන හා මහජන සහයෝගයද සහිතව දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය මේ වන විට ආරම්භ කර ඇත.
වේගවත්, විශ්වසනීය, සුවපහසු දුම්රිය සේවාවක් ගොඩනැගීමෙහි ලා ජනාධිපති ලේකම් කාර්යාලයේ හා ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයෙහි මඟ පෙන්වීම හා සම්බන්ධීකරණය මත ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව “සිහින ගමනාන්තය” (Dream Destination) නමින් පසුගියදා පුළුල් වැඩසටහනක් ආරම්භ කරන ලදී. මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වනුයේ සියලු මගීන්ගේ ආරක්ෂාව හා සුවපහසුව සලසන සුපිරිසිදු, ආකර්ශනීය දුම්රිය ස්ථාන පද්ධතියක් රට තුළ නිර්මාණය කිරීම සඳහා නව්‍යකරණය තුලින් දුම්රිය ස්ථාන නවීකරණය කිරීමය.
මේ යටතේ තල්පේ, මරදාන, හා නාරාහේන්පිට දුම්රිය ස්ථාන නවීකරණ වැඩසටහන් දැනටමත් ආරම්භ කර ඇති අතර, මෙම වැඩසටහනේ සුවිශේෂී පියවරක් ලෙස මහනුවර දුම්රිය ස්ථානය නවීකරණය කර අලංකාර කිරීමේ ව්‍යාපෘතිය මෙසේ ආරම්භ විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මාත්‍ය බිමල් රත්නායක මහතා,
"මේ වනවිට ලංකාවේ ප්‍රධාන දුම්රිය ස්ථාන 03 ක් නවීකරණය කිරීමේ කටයුතු ආරම්භකර තිබෙනවා. ලොකු කතාවක එක් කොටසක් තමයි අද මේ ආකාරයෙන් ආරම්භ වෙන්නේ. වර්තමානයේ අපි ජීවත් වෙන්නේ ගොඩනගාගත් පරිසරයක. මනුෂ්‍යායට සෞන්දර්යය රසවින්ඳින්න වෙනමම ස්ථාන කරා යන්නවෙලා තියෙන්නේ. ඒ තත්ත්වයෙන් මිදෙන්න නම්, අප වටා තිබෙන පරිසරය සෞනදර්යාත්මක අතින් පොහොසත් කළ යුතුයි. මේ සෑම ගොඩනැගීමකම, නවීකරණයක් ඇතුළතම සෞන්දර්යාත්මක අතින් කිසියම් වර්ධනයක් තිබිය යුතුයි. අප විසින් ආරම්භ කළ මේ කටයුතු යටතේ මාගා ආයතනය විසින් සම්පූර්න දුම්රිය ස්තානයම තීන්ත ආලේප කිරීමේ කටයුතු, ටයිල් ඇල්ලීමේ කටයුතු, වහල ප්‍රතිසංස්කරණ කටයුතු, කාණු පද්ධති වගේම වැසිකිළි නවීකරණ කටයුතු, පාර්සල් කාමර, ප්‍රවේපත්‍ර කවුලු, ආසන පහසුකම් ආදිය ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර නවීකරණය කිරීමට නියමිතයි. ඒ අනුව සැමදෙනාගේම සාමුහික කැපවීමෙන් ඓතිහාසික මහනුවර නගරය ලස්සන තැනක් කරමු "යැයි පැවසීය.
මෙම අවස්ථාවට, ප්‍රවාහන මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා, ප්‍රදේශයේ දේශපාලනාධිකාරිය මෙන්ම ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය, දුම්රිය දෙපාර්තමේන්තුව, ඉදිකිරීම් කටයුතු භාරව කටයුතු සිදුකරනු ලබන මාගා ආයතනය යන ආයතනයන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් ද සහභාගී වූහ.


