දර්ගා නගරයේ ප්‍රාදේශීය රෝහලට රුපියල් බිලියනයක ගොඩනැගිල්ලක්

දර්ගා නගරයේ ප්‍රාදේශීය රෝහලට රුපියල් බිලියනයක ගොඩනැගිල්ලක්
  • SocialShare:

උපකරණ සඳහා තවත් මිලියන 50 ක්

අප රට පිළිබඳව ලෝකයේ ඉහළ පිළිගැනීමක් සහ යහපත් ප්‍රතිරූපයක් ගොඩනැගෙමින් පවතින බවත්, බොහෝ රටවල් මෙරට සමඟ සුහඳශීලී ගණුදෙනු සඳහා අවතීරණ වී ඇති බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි. 

චීන රජයේ ආධාර යටතේ තෝරාගත් රෝහල් 13 ක සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් බිලියනයක  වියදමින් දර්ගා නගරය ප්‍රාදේශීය රෝහලේ  ඉදිකරන ලද තෙමහල් නව කායික රෝග වාට්ටු සංකීර්ණය ඊයේ (29) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

මහල් 03 කින් සමන්විත මෙම ගොඩනැගිලි සංකීර්ණය ඇඳන් 04 කින් යුත් හදිසි ප්‍රතිකාර ඒකකයක්, ඇඳන් 96 කින් සමන්විත ළමා සහ මාතෘ වාට්ටු ද ඇතුළු වාට්ටු 04 කින් ද බාහිර රෝගී අංශය ඇතුළු අංශ ගණනාවකින් ද සමන්විත වන අතර මෙම කායික රෝග වාට්ටු සංකීර්ණයට අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ අනෙකුත් උපකරණ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබා දීමට ද නියමිතය.

තෙමහල් නව කායික රෝග වාට්ටු සංකීර්ණය විවෘත කිරීමෙන් පසු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතින් හදිසි ප්‍රතිකාර ඒකකයේ පළමු රෝගියා ලියාපදිංචිය ද සිදු කළ අතර, නව වාට්ටු සංකීර්ණය මෙන්ම මහත් දුෂ්කරතා මධ්‍යයේ රෝගී ප්‍රතිකාර සේවා මෙතෙක් සේවා පවත්වාගෙන ඒමට කටයුතු කළ ස්ථාන සහ අංශයන්  ද  අමාත්‍යවරයා සිය නිරික්ෂණයට ද ලක් කරන ලදි.

අනතුරුව පැවැති උත්සව සභාව අමතමින් අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ වසර 70 ක පමණ අතීතයකට හිමිකම් කියන දර්ගා නගරයේ ප්‍රාදේශීය රෝහලට චීන මහජන සමූහාණ්ඩුවේ ආධාර යටතේ ලැබුණු පහසුකම් සහිත අත්‍යාවශ්‍ය ගොඩනැගිල්ලක් ලෙස මෙම තෙමහල් නව කායික රෝග වාට්ටු සංකීර්ණය පෙන්වා දිය හැකි බවයි.

දර්ගා නගරය ප්‍රාදේශිය රෝහලේ දැනට තිබෙන පහසුකම් භාවිතා කරමින් මහජනතාවට උපරිම සේවාවක් ලබාදීමට කටයුතු කළ යුතු බවත්, මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුන්ට සායනික පුහුණූව ලබාදීම සඳහා අවශ්‍ය වන කායික රෝග සහ ශල්‍ය රෝග මහාචාර්ය ඒකක ඇතුළු ඒකක  කළුතර ශික්ෂණ රෝහලේ ආරම්භ කිරිමට පියවර ගෙන ඇති බැවින් එම සිසුන් හට මෙම රෝහල ඇතුළු අවට රෝහල්වල පහසුකම් උපයෝගි කරගෙන තම අධ්‍යාපනික දැනුම ලබාගත හැකි වනු ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.

රෝහලට අවශ්‍ය මානව සම්පත ශක්තිමත් කරමින් විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු කාර්ය මණ්ඩල ඉදිරියේ දී ක්‍රමාණුකූලව ලබාදීමට පියවර ගන්නා බව පැවසූ අමාත්‍යවරයා වෛද්‍ය සංකීර්ණය සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ සඳහා රුපියල් මිලියන 50 ක මුදලක් වෙන් කිරීමට නියමිත බව ද පැවසීය.

ඉදිරියේ දී සෞඛ්‍ය සේවාවේ සුවිශාල පෙරළියක් සිදු වන බවත්, රටේ ආර්ථීකය ශක්තිමත් වන, ස්ථාවර වන අවස්ථාවේ සියලු සෞඛ්‍ය පහසුකම් ජනතාවට ලබාදීමට කටයුතු කරන බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා අද වන විට අප රටට ලෝකයේ ඉහළ පිළිගැනීමක් හිමිව ඇති බවත්, ලෝකයේ බොහෝ රටවල් ශ්‍රී ලංකා රජය සමඟ සුහඳශීලි ගණුදෙනු සඳහා අවතීර්ණ වී ඇති බව ද රට පිළිබඳව වූ යහපත් ප්‍රතිරූපය ඉහළ නැගෙමින් තිබෙන බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරන ලදි. 

කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) මගින් පාලනය වන දර්ගා නගරය ප්‍රාදේශීය රෝහලේ මෙතෙක් ගොඩනැගිලි අවශ්‍යතාවය දැඩිව පැනනැඟී තිබූ අතර, එයට පිළියමක් ලෙස වර්ග අඩි 38,400 ක වපසරියක පිහිටුවන ලද මෙම නව තෙමහල් ගොඩනැගිලි සංකීර්ණයත් සමග අදාළ අවශ්‍යතාවය සම්පුර්ණ වන අතර කළුතර සහ බේරුවල රෝහල්වල රෝගී තදබදය අවම කරමින් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීමට ද ඉවහල් වනු ඇත.

චීන රජයේ ආධාර ව්‍යාපෘතිය යටතේ බේරුවල දර්ගා නගරය ප්‍රාදේශීය රෝහල, අළුත්ගම රෝහල, සමන්තුරෙයි රෝහල, එරාවූර්, පොතුවිල්, කරාපිටිය, පොළොන්නරුව, පදවිය, වලස්මුල්ල, කලවාන, මහියංගණ රිකිල්ලගස්කඩ යන රෝහල් සංවර්ධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය  සැලසුම් කර ඇත.

මෙම අවස්ථාවට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි, ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ කේ. නන්දකුමාරන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චරිත් හෙට්ටිආරච්චි, සෞඛ්‍ය  හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, සුනිල් ගලගම, ප්‍රභාදීප යෝගචන්ද්‍ර, කළුතර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මධුභාෂිනී කරුණාරත්න, දර්ගානගරය ප්‍රාදේශීය රෝහලේ කාර්යභාර වෛද්‍ය නිලධාරි එන්.පී රණතුංග, මෙරට චීන තානාපති කාර්යාලය නියෝජනය කරමින් චෑන් යාංග් මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද එක්ව සිටියහ.