ප‍්‍රවාහනයේ ආරක්‍ෂාව සහතික කිරීම වෙනුවෙන් ප‍්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය ක‍්‍රියාත්මක කරනු ලබන කෙටිකාලීන සැලැස්ම සහ දිගුකාලීන වැඩපිළිවෙළ පිළිබඳ දැනුම්වත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් ‘මගනැගුම මහමැදුර’ පිහිටි මහාමාර්ග අමාත්‍යංශයීය ශ‍්‍රවණාගාරයේ දී අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (10) පැවැත්විණ.
වත්මන් රජය බලයට පත්වීමෙන් පසු මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ක‍්‍රියාත්මක කර ඇති සාධනීය වැඩපිළිවෙල මෙන් ම මෑතකදී සිදුවූ අනතුරු පිළිබඳ මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණි. මගී ජනතාවට ‘අනතුරු වලකන සුරක්‍ෂිත ගමනාන්තයක්’ ලබාදීමට අවශ්‍ය වන තිරසර වැඩ පිළිවෙල සැකසීමේ පොදු යාන්ත‍්‍රණය පිළිබඳ අමාත්‍යවරයා මෙහි දී මාධ්‍ය වෙත කරුණු දැක්වීය.
ප‍්‍රවාහනයේ ආරක්‍ෂාව සඳහා විධිමත් මාර්ග පද්ධතියක්, ආරක්‍ෂිත රථවාහන ඇණියක් සහ චර්යා පිරිපුන් රියදුරන්ගෙන් සමන්විත ක‍්‍රමවේදයක ඇති අවශ්‍යතාව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ ය.
නීතියට හා දඬුවම් වලට සීමා නොවී ආකල්පමය වෙනසක් තුළින් ප‍්‍රවාහනයේ ආරක්‍ෂාව සඳහා ඒකාබද්ධ ආයතන සම්බන්ධීකරණයක් ස්ථාපිත කිරීමත්, නවීන තාක්‍ෂණය භාවිතා කරමින් සුරක්‍ෂිත රිය ධාවනයක් ඇති කිරීමත් පිළිබඳ මෙහිදී සාකච්ඡා විය. ඒ අනුව ප‍්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය, මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව, මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, ජාතික ගමනා ගමන කොමිසම, ශ‍්‍රී ලංකා පොලීසිය සහ ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය යන ආයතනවල සම්බන්ධීකරණ දායකත්වයෙන් තිරසර මාර්ග ආරක්‍ෂණ වැඩසටහනක් සැකසීම පිළිබඳ කරුණු සහ ප‍්‍රවාහනයේ ආරක්‍ෂාව වෙනුවෙන් ඉදිරියේදී ක‍්‍රියාත්මක කිරීමට යෝජිත ආරක්‍ෂිත විධි ක‍්‍රම පිළිබඳ අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ අනාවරණය කළේ ය.
සියලූම දුර ගමන් බස් රථ ධාවනය ඇරඹීමට පෙර මූලික තත්ත්ව පරීක්‍ෂණයක් සිදුකිරීම අනිවාර්ය කිරීම, ආරම්භයේදී කොළඹ බැස්ටියන් මාවත සහ මාකුඹුර බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ජාතික ගමනා ගමන කොමිසමේ අධීක්‍ෂණය යටතේ එළඹෙන ඔක්තෝබර් මස සිට මෙම ක‍්‍රමවේදය ක‍්‍රියාත්මක කරනු ලබන අතර, දුර ගමන් විනෝද චාරිකා බස් රථ ද මෙම තත්ත්ව පරීක්‍ෂණය සිදුකිරීම අනිවාර්ය කිරීම, කි. මී. 100 ට වඩා දුර ගමන් ගන්නා බස් රථ සඳහා සහ අන්තර් පළාත් බස් රථ සඳහා යෝග්‍යතා සහතිකයක් ධාවනය ආරම්භයට පැය 48 කට පෙර ලබාගැනීම, මෝටර් රථ ධාවන නීතිය අනුව පොදු ප‍්‍රවාහන රියැදුරු බලපත‍්‍රය ලබාගැනීමට පුහුණුව ලබා ගැනීමෙන් අනතුරුව මගී ප‍්‍රවාහන රියැදුරු බලපත‍්‍රය ලබාගැනීම අනිවාර්ය කිරීම, දැනටමත් ආරම්භ කර ඇති අනවශ්‍ය අලංකරණ කොටස් ඉවත් කිරීම කඩිනම් කිරීම, ලොරි හා ට‍්‍රක් රථ සඳහා රියැදුරු සහායකයෙකු අනිවාර්ය කිරීම, රියැදුරන්ගේ විඩාව, නින්ද අධීක්‍ෂණය කිරීමට සහ අපරික්‍ෂාකාරී ධාවනය පිළිබඳ සංඥා ලබාදීමට කෘතීම බුද්ධි උපකරණ පද්ධති සවිකිරීම, රියැදුරු වෘත්තීයභාවය ඉහළ නැංවීමට ක‍්‍රියාමාර්ග ගැනීම, අනවශ්‍ය ශබ්ද තරංග සහ ආලෝකකරණය පාලනය කිරීම, බස් රථ දෝෂ වාර්තා කිරීමට ලබාදී ඇති වට්ස්ඇප් අංක මගින් තොරතුරු ලබා දී දෝෂ නිරාකරණයට සෘජු මගී දායකත්වය ලබාගැනීම, පාසැල් ළමුන් ප‍්‍රවාහන බස්රථ, වෑන් රථ හා ත‍්‍රිරෝද රථ නියාමනයට අධ්‍යාපන අමාත්‍යංශය සමග එක්ව නව නීති සහ රෙගුලාසි සකස් කිරීම සහ මේ සඳහා විදුහල්පතිවරුන්, දෙමව්පියන් සහ බස් හිමියන් එක්ව වාහන යෝග්‍යතාවය පිළිබඳ එකඟතාවයකට පැමිණීම, 2026 ජනවාරි මස සිට දුර ගමන් බස් රථ සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීම, දුම්රියේ අඩුපාඩුකම් නිසා සිදුවන අනතුරු සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සහ රක්‍ෂණ සංස්ථාව සමග එක්ව දුම්රිය රක්‍ෂණ ක‍්‍රමයක් හඳුන්වා දීම, රිය අනතුරකදී දැනට ලබාදෙන රුපියල් මිලියනයක වන්දි මුදල වැඩි කිරීම සඳහා නීති ප‍්‍රතිසංස්කරණයන්ට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුලු ප‍්‍රවාහනයේ ආරක්‍ෂාව වෙනුවෙන් ගන්නා ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් අමාත්‍යවරයා දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේ ය.
මෙහි දී මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා : මෙරට පවතින රියැදුරු පුහුණු පාසැල් බොහොමයක් දූෂිත තත්ත්වයේ පවතින බැවින් එම සේවාවන් විධිමත් කිරීම සඳහා මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියාමනය යටතේ ඒවායේ ප‍්‍රමිතිය පවත්වාගෙන යාමට කටයුතු කරන බව සඳහන් කළේ ය. මේ සියලූ ක‍්‍රියාමාර්ග යම් සිදුවීමක් වූ පසුව ගත් තීරණ නොවන බවත් ඒවා පෙර සිට ක‍්‍රමිකව, සැලසුම් සහගතව සිදුකරනු ලබන යාන්ත‍්‍රණයේ පියවරක් බවත් පැවසූ අමාත්‍යවරයා ප‍්‍රවාහනයේ දී නවීණ තාක්‍ෂණය සුදුසු සහ අපේ රටට ගැළපෙන පරිදි භාවිතා කිරීම රියැදුරුගේ වගකීමක් බව ද පෙන්වා දුන්නේ ය.
නිසි ආයතන රාමුවක් ස්ථාපිත කිරීම මගින් සහ ආරක්‍ෂිත ක‍්‍රියාමාර්ගවලට අනුගත වීම තුළින් ප‍්‍රවාහනයේ ආරක්‍ෂාව සහතික කිරීමට දායකවීම සියලූ පාර්ශ්වවල වගකීම බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට ප‍්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන, ප‍්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ අතිරේක ලේකම් (සංවර්ධන* අවන්ති සේනාරත්න, ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති ඉංජිනේරු පී. ඒ. චන්ද්‍රපාල, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජයසිංහ, මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් කමල් අමරසිංහ, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ටී. පාස්කරන්, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් විමල් කණ්ඩම්බි, නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ, ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප‍්‍රධාන විධායක නිලධාරි මහේෂ් කුලතිලක යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීහු රැසක් එක්ව සිටියහ.


