සෙවනගල උක් ගොවීන්ගේ උක් මිලදී ගැනීමේ ගැටළුවට විසඳුමක් ලෙස මෙම කන්නයේදී අමු උක් මෙට්‍රික් ටොන් එකක් සදහා රුපියල් 9000 ක් හා ගිනි ගත් උක් මෙට්‍රික් ටොන් එකක් සඳහා රුපියල් 5000 මුදලක් ගෙවීමට ලංකා සීනි සමාගම තීරණය කර ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (3 දා) අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා,
“ ඊයේ දිනයේදී දැනගන්න ලැබුණා උක් ගොවීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය තීරණයක් ගෙන තිබෙන බව ලංකා සීනි සමාගමට උක් සැපයීම නවත්වන්න. ගිනිතැබූ උක් මෙට්‍රික් ටොන් 14 000 සීනි සමාගම මිලදී ගන්න තුරු කිසිදු ගොවියෙක් ලංකා සීනි සමාගමට උක් සපයන්නේ නෙමැති බව පවසනවා. ට්‍රැක්ටර් රියදුරුවන්ගේ සංගමය උක් ප්‍රවාහනය කිරීම නවත්වලා. ගිනි ගත්ත ගොවීන්ට සහය පළ කිරීමට අනික් ගොවියනුත් මේවන විට සමාගමට උක් සැපයීම නවත්වලා තිබෙනවා . ලංකා සීනි සමාගම පවතින්නේ උක් සැපයීම මතයි. සීනි සහ එතනෝල් නිෂ්පාදනය සිදු කරන්නේ උක් වලින්. ගොවියා උක් සපයන්නේ නැත්නම් සමාගමේ නිෂ්පාදන කටයුතු සිදුකිරීමේ හැකියාවක් නැහැ.
මෙම ලංකා සීනි සමාගම පවතින්නේ ගොවියන් වෙනුවෙන්. මෙම ආයතනව විවිධ රජයන් තුළ නාස්තිය හා දූෂණය නිසා අර්බුදයට ලක් වූ ආයතනයක්. වර්තමාන රජය මෙම ආයතනය වසාදැමීම හෝ පෞද්ගලීකරණය කරන්නේ නැතුව රජයේ අයිතිය යටතේ පවත්වාගෙන යන්නේ මේ පළාත් වල සිටින උක් ගොවියන් වෙනුවෙන්. ආයතනයේ වැඩ කරන බහුතරයක් දෙනා ගොවියන්. පැල්වත්ත, සෙවනගල හා තණමල්විල ප්‍රදේශවල පවුල් ලක්ෂයක් පමණ උක් වගාවෙන් ජීවත් වෙන අය. මේ ආයතනය පාඩු ලැබුවොත් එහි බලපෑමට ලක් වෙන්නේ මේ ප්‍රදේශ වල උක් ගොවියන්මයි. ලබන කන්නයේත් උක් ගොවීන්ට පොහොර, ප්‍රවාහන පහසුකම් ලබාදිය යුතුයි. ඉඩම් සකස් කර දිය යුතුයි. මේ ගිනිතියපු උක් මෙට්‍රුක් ටොන් 14 000 ආයතනය ලබා ගත්තා කියලා ආයතනයට කිසිදු ප්‍රයෝජනයක් නැහැ. මෙහි සීනි සාන්ද්‍රන සංයුතිය ඉවත්වෙලා තියෙන්නේ. නමුත් සාධාරණ මිලකට මේ උක්ටික ලබාගන්න අපි ලෑස්තියි. මේ ගිනි තියපු උක් ආයතනයට ගත්තා කියලා සීනි හදන්න බැහැ. මෙම ගිනි තැබූ උක් ඇඹරුවොත් සෙවනගල තියෙන එකම කටර් එකක් කැඩෙන්න පුළුවන්. එහෙම උනොත් සෙවනගල කර්මාන්ත ශාලාව වහන්නයි වෙන්නේ. මෙසේ ගිනිතිබූ උක් රු 5000 බැගින් මිලදී ගත්තත් ඒවා විනාශ කරන්නයි වෙන්නේ. මෙහිදී සමාගමට සිදුවන පාඩුව සියළු උක් ගොවියන් අතරේ බෙදා දෙන්න අපට සිදුවෙනවා. ඒ අනුව ඊයේ දින දක්වා ගිනි තබා තිබූ උක් මෙට්‍රික් ටොන් 1 ක් රුපියල් 5000 බැගින් හා ගිනි නොතැබූ අමු උක් මෙට්‍රික් ටොන් 1ක් රුපියල් 9000 බැගින් මිලදී ගැනීමට කටයුතු කරනවා” යැයි පැවසීය.
මෙහිදී ගිනි ගත්ත උක් වලට ගෙවන මුදල් කන්නය අවසානයේදී ගෙවීමටත් අමු උක් සපයන ගොවියන්ගේ මුදල් මිලදී ගන්නා අවස්ථාවේදීම ගෙවීමට කටයුතු කරන බවත් යළිත් ලබන කන්නයේ සිට සුපුරුදු පරිදි අමු උක් ටෙන් එකක් සදහා නියමිත මුදල වන රුපියල් 10 0000 සියළු ගොවීන්ට ගෙවීමට කටයුතු කරන බවද හදුන්නෙත්ති අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.


