ඩෙංගු මර්දනය වෙනුවෙන් ප්‍රජා මූලික නව වැඩසටහනක්

ඩෙංගු මර්දනය වෙනුවෙන් ප්‍රජා මූලික නව වැඩසටහනක්
  • SocialShare:

ඩෙංගු මර්දනය පිණිස ප්‍රජාව සවිබල ගැන්වීම සදහා නව ප්‍රචාරණ ව්‍යාපෘතියක් සහ ප්‍රජා පාදක ක්‍රියාකාරකම් මාලාවක් අඩංගු ව්‍යාපෘතියක් ඇරඹේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව සොෆ්ලොජික් ලයිෆ් ආයතනය මෙම නව වැඩසටහන ක්‍රියාත්මක කරයි.

එම නව ව්‍යාපෘතිය පිළිබඳ සැලසුම් සාකච්ජාවක්  2025.08.11 දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විනි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව, විශේෂඥ වෛද්‍ය උත්පලා අමරසිංහ, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර, වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අරුණි හතමුණ යන මහත්ම මහත්මීන් ඇතුළු සෞඛ්‍ය නිලධාරීන් එක්ව සිටියහ.

සොෆ්ලොජික් ලයිෆ් ආයතනය නියෝජනය කරමින් සොෆ්ලොජික් ලයිෆ් අලෙවි ප්‍රධානී චමින්ද්‍රානි පිලිමතලාවේ මහත්මිය ඇතුළු සොෆ්ලොජික් ලයිෆ් ආයතනයේ පිරිසක් එක්ව සිටියහ. සැලසුම් සාකච්ඡාවේදී චමින්ද්‍රානි පිලිමතලාවේ මහත්මිය ප්‍රකාශ කලේ  ඩෙංගු මර්දනය පිණිස ක්‍රියාත්මක ඉදිරි වැඩපිලිවෙල සාර්ථක කර ගැනීමට නව තාක්ෂණය උපරිමයෙන් භාවිත කිරීමට සොෆ්ලොජික් ආයතනය සෞඛ්‍ය අංශයට සහාය ලබාදෙන බවයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කලේ පුද්ගලික අංශයත්, රාජ්‍ය අංශයත් එක්ව ක්‍රියාත්මක කරන මෙවැනි ප්‍රජා සහභාගීත්ව ඩෙංගු මර්දන වැඩසටහන් කාලීන අවශ්‍යතාවක් බවයි. සෞඛ්‍ය අංශයට පමණක් ඩෙංගු මර්දනය කල නොහැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ඩෙංගු මර්දනය පිණිස දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන මෙම නව වැඩසටහන් මාලාව ඩෙංගු අධි අවදානම් සහිත ප්‍රදේශ වල අගෝස්තු මස අවසන් සතියේ සිට ක්‍රියාත්මක වනු ඇත.