අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා අවසන් නැති අතර මෙයට සම්බන්ධ සියලු පාර්ශවයන්ට තම අදහස් ඉදිරිපත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරි දින කිහිපය වෙන්කර ඇතැයිද කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉටුකර ගැනීමට නම් මෙරට ගුරුවරුන් විශාල ප්‍රමාණයක් පුහුණු කළ යුතු බවද, ඒ සදහා අවශ්‍ය කරන මූලික පහසුකම් සම්පාදනයට අගමැතිනිය ප්‍රමුඛ අධ්‍යාපන අමාත්‍යංශය මෙම සාකච්ඡා වටය ආරම්භ කර ඇතැයිද පැවසූ කැබිනට් ප්‍රකාශකවරයා මෙම ප්‍රතිසංස්කරණ යෝජනා කිසිසේත් අවසන් වී නොමැති බව ද අවධාරණය කළේය.
මෙයට සම්බන්ධ සියලු පාර්ශවයන්ගේ අදහස් යෝජනා සියල්ල සැලකිල්ලට ගනිමින් අවසානයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සකස් වන බවද පැවසූ අමාත්‍යවරයා 1 හා 6 ශ්‍රේණි සඳහා පළමුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇරඹෙන බවද පැවසුවේය.
අලුත් ලෝකයත් සමග ඉදිරියට ගමන් කිරීමේදී දරුවන්ගේ භාෂා ඥාණය, සෞන්දර්යය කුසලතාවයන්, ගණිතමය හැකියාව වගේම තාක්ෂණය සම්බන්ධයෙන් දරුවන්ට ඇති දැනුම අවබෝධය පුළුල් කළ යුතු යැයි රජයක් ලෙස අවධානයට ගන්නා බව පැවසූ කැබිනට් ප්‍රකාශකවරයා විෂය නිර්දේශ ඇතුලේ තාක්ෂණ විෂයට බර තැබීමේ අඩුවක් දක්නා බවද ලොව අධ්‍යාපන ක්‍රම වෙනස් වී ඇතැයිද සඳහන් කළේය.
මෙම කරුණු සියල්ල සැලකිල්ලට ගෙන යම් සාකච්ඡා ප්‍රමාණයක් ආරම්භ වී ඇතැයිද එයට කාටත් සම්බන්ධ වීමට හැකියාවක් ඇතැයිද පැවසුවේය. මේ සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිදුකරන චෝදනා සම්බන්ධයෙන් කලබල නොවන බවද ඉතිහාසය, සෞන්දර්යය, තර්කනය, ගණිතය, තාක්ෂණය ආදී සියල්ල ඇතුලත් දරුවෙකු නිර්මාණය කරගැනීම බලාපොරොත්තුව බවද පැවසුවේය.
පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සදහා ඉදිරියේදී අවස්ථාවක් ලබාදෙන බවද අවශ්‍ය අයට කණ්ඩායම් ලෙස පැමිණ අධයාපන අමාත්‍යංශය සමග සාකච්ඡා කර සිය අදහස් යෝජනා ඉිදිරිපත් කිරීමට හැකියාව ඇතැයිද ඒ සියල්ල ඉදිරිපත් කළ පතු හොඳ ප්‍රතිසංස්කරණ යෝජනා මාලාවක් රටට ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවද සඳහන් කළේය.
මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනස් විය යුතු යැයි රජය විශ්වාස කරන බවද එම වෙනස විය යුත්තේ මෙරට සංස්කෘතිය, ඉතිහාසය ආරක්ෂා කරගනිමින්, ඒ මත ශක්තිමත්ව පිහිටමින් බවද අනාගත ලෝකය සමග යන දරුවෙකු නිර්මාණය කරගැනීමට අවශ්‍යතාවයක් පවතින බවද වැඩිදුරටත් පැවසුවේය. ඒ වෙනුවෙන් කටයුතු කරන බව කී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් ලබාගැනීමට මාධ්‍ය සංවිධාන වලටද පැමිණ අධ්‍යාපන අමාත්‍යංශය සමග මේ ගැන කටයුතු කරන ලෙස ආරාධනා කළේය.


