උතුරු පළාත තුළ පිහිටි ප්‍රාදේශීය රෝහල් සියල්ල විශේෂ පස් අවුරුදු සැලැස්මක් යටතේ සංවර්ධනයට පිය‍වර

උතුරු පළාත තුළ පිහිටි ප්‍රාදේශීය රෝහල් සියල්ල විශේෂ පස් අවුරුදු සැලැස්මක් යටතේ සංවර්ධනයට පිය‍වර
  • SocialShare:

උතුරු පළාතේ කිළිනොච්චිය, මුළතිව්, යාපනය, මන්නාරම, වව්නියාව යන දිස්ත්‍රික්කවල පිහිටි ප්‍රාදේශීය රෝහල් සියල්ල උතුරු පළාත් සභාවේද සහයෝගය සමගින් පස් අවුරුදු සංවර්ධන සැලැස්මක් යටතේ  සංවර්ධනය කරමින් එම පළාතේ වෙසෙන ග්‍රාමීය ජනතාවට ගුණාත්මක, කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබා දීමට අවශ්‍ය කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා උතුරු පළාතේ මන්නාරම  දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයක සිදුකරන ලද විශේෂ නිරීක්ෂණ චාරිකාව අතරතුරදී ය.

මන්නාරම දිස්ත්‍රික්කයේ මුරුක්කන්, අඩම්පන්, වන්කාලෙයි, නානාටන්, සිලාවතුර යන ප්‍රාදේශීය රෝහල් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ විශේෂ නිරීක්ෂණයට මෙහි දී ලක්විය.

නිරීක්ෂණය කරණු ලැබූ සෑම ප්‍රාදේශීය රෝහලකම සේවයේ නියුතු කාර්ය මණ්ඩලයට වර්තමානයේ පවතින ගැටලු පිළිබඳව කරුණු මෙන් ම අදහස් ඉදිරිපත් කිරීමට  අවස්ථාවක් ලබා දීමට ද  අමාත්‍යවරයා මෙහි දී පියවර ගන්නා ලදී.

එහි දී එම රෝහල්වල පවතින භෞතික හා මානව සම්පත්වල හිගතාවයන් පිළිබඳව සෞඛ්‍ය කාර්යමණ්ඩල විසින් අමාත්‍යවරයා දැනුවත් කිරීමට පියවර ගත් අතර ඊට කඩිනම් විසදුම් ලබා දීමට අමාත්‍යවරයා අදාළ නිලධාරීන් සමග මෙහි දී දීර්ඝව කරුණු සාකච්ඡා කර කෙටි, මධ්‍ය හා දීර්ඝ කාලීන විසඳුම් ලබා දීමට පියවර ගත්තේ ය.

බෝවන රෝග මෙන් ම බෝ නොවන රෝගවල යම් වර්ධනයක් වර්තමානය වන විට මෙම ප්‍රදේශයන්හි පෙන්නුම් කරන බව මෙහි දී අනාවරණය විය. ඒ පිළිබදව විශේෂ අවධානය යොමුකළ අමාත්‍යවරයා ඒ සඳහා ජනතාව දැනුවත් කිරීමේ සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් විධිමත් පරිදි ක්‍රියාත්මක කිරීම, වස විසෙන් තොර පෝෂ්‍යදායි  ආහාර රටාවකට ජනතාව හුරු කිරීම, විධිමත් ප්‍රතිකාර ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම සහ ඒ හා සම්බන්ධ වැඩසටහන් වඩාත්  ශක්තිමත්ව ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙසටත්, මව්වරුන් කුඩා දරුවන් සහ පාසල් දරුවන් ඉලක්ක කරගත් විශේෂ පෝෂණ වැඩසටහන් සහ පෝෂණයට අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කර ක්‍රියාත්මක කිරීමටත් පියවර ගන්නා මෙන් අමාත්‍යවරයා අදාළ සෞඛ්‍ය බලධාරීන්ට මෙහි දී උපදෙස් ලබා දෙන ලදී.  

උතුරු පළාතේ  රෝහල්වලට අවශ්‍යය ඖෂධ හිගයකින් තොරව පවත්වාගෙන යාමට උතුරු පළාත තුළ ක්‍රියාත්මක විධිමත් යාන්ත්‍රණය පිළිබදව කරුණු විමසීමට කටයුතු කළ අමාත්‍යවරයා, රෝහලට පැමිණෙන රෝගීන්ට අවශ්‍ය සියලු ප්‍රතිකාර හා සත්කාර සේවාවන් ලබා දී ඔවුන් නීරෝගීමත් පුද්ගලයන් බව ට පත් කිරීම  සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවයේ නියුතු සියලු දෙනාගේ වගකීම බව ද මෙහි දී පෙන්වා දුන්නේ ය.

රෝහල හෝ සෞඛ්‍ය මධ්‍යස්ථානය පාලනය කරන්නේ පළාත් සභාවෙන් ද, මධ්‍යම රජයෙන් ද, යන්න මෙහි දී අදාළ නොවන බවත් මෙරට සමස්ත ජනයා සුවපත් කිරීමේ වගකිම සෞඛ්‍ය අමාත්‍යවරයා වන තමන්ගේ සිට පහළම සේවකයා දක්වා පැවරී තිබෙන බව ද පැවසී ය. ඒ වෙනුවෙන් රජය වාර්ෂිකව අතිවිශාල මුදල් ප්‍රමාණයක් වැය කරන බවත්, මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව ලෝකයේ සංවර්ධිත රටවල්වල පවතින සෞඛ්‍ය සේවාවට සමාන මට්ටමකින් පවතින බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසී ය. 

උතුරු පළාත තුළ එක් ශික්ෂණ රෝහලක්, දිස්ත්‍රික් මහ රෝහල් හතරක්, මූලික රෝහල් දහයක්, දිසා රෝහල් පනස් පහකින්, ප්‍රාදේශීය රෝහල් හතළිස් අටක්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල තිස්තුනක් ස්ථාපිත කර ඇති අතර පළාත තුළ වෙසෙන දොළොස් ලක්ෂයකට ආසන්න ජනතාවකට මෙම සෞඛ්‍ය ආයතනවලින් සුව සත්කාර හා ප්‍රතිකාර සේවා සපයනු ලබයි.

මෙම නිරීක්ෂණ චාරිකාවන් සදහා වව්නියාව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ජගදීස්වරන්, උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සමන් පතිරණ, මන්නාරම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ධර්මරාජන් විනෝදන්, යන මහත්වරුන් ද ප්‍රධාන වෛද්‍ය නිලධාරීන්, ස්ථානභාර වෛද්‍ය නිලධාරීන්, විශේෂඥ වෛද්‍යවරුන්,වෛද්‍යවරුන්, හෙද හෙදියන්, ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් සියලු වෘත්තීන් නියෝජනය කරමින් කාර්ය මණ්ඩලයේ පිරිසක් මෙන් ම රෝහල් කමිටු නියෝජිතයින් ද සහභාගි වූහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.