ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා පිළිබඳව චීනයේ නියෝජිත පිරිසක් සමඟ විශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා පිළිබඳව චීනයේ නියෝජිත පිරිසක් සමඟ විශේෂ සාකච්ඡාවක්
  • SocialShare:

චීනයේ ෂැන්ඩොන් පළාතේ යැන්ටායි (Yantai) නගරයේ නගරාධිපති Zheng Deyan මහතා ඇතුළු මහත්ම මහත්මීන්ගෙන් සමන්විත චීන රජයේ නියෝජිත පිරිසක් සහ ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා, අමාත්‍යාංශ ලේකම්තුමා සහ එම අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතන ප්‍රධානීහු අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (මැයි 8, 2025) දින ධීවර අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වන ලදි.

ශ්‍රී ලංකාවට පැමිණ සිටින මෙම දූත පිරිස, විශේෂයෙන්ම ධීවර අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතන සඳහා ලබාදිය හැකි සහයෝගය සහ ආයෝජන අවස්ථා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඊයේ දින ධීවර අමාත්‍යාංශයට පැමිණි අතර, මෙය ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය සඳහා මහඟු අවස්ථාවක් ලෙස සැලකේ.

මෙහිදී, අමාත්‍යාංශ හෝ ආයතන මට්ටමින් ක්‍රියාත්මක කිරීමට දුෂ්කර වන, ඉහළ තාක්ෂණය හා සැලකිය යුතු ප්‍රාග්ධනයක් අවශ්‍ය වන දැවැන්ත ව්‍යාපෘති සහ ආයෝජන අවස්ථා පිළිබඳව දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු කර ගන්නා ලදි. මේ සඳහා චීන නියෝජිත පිරිස සිය කැමැත්ත පළ කළ අතර, ඉදිරියේදී පාර්ශ්ව දෙක එක්ව මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර, ආයෝජන අවස්ථා හඳුනාගෙන ඒ ඔස්සේ ඉදිරි කටයුතු කිරීමට එකඟ විය.

චීනයේ ෂැන්ඩොන් පළාත යනු ධීවර කර්මාන්තය සම්බන්ධයෙන්, විශේෂයෙන්ම ජලජීවී වගාව (Aquaculture) සම්බන්ධයෙන් ඉහළ තාක්ෂණයක් හා දියුණුවක් අත්පත් කරගත් පළාතකි. මුහුදේ ස්ථාපිත කර ඇති අතිවිශාල කූඩු පද්ධති තුළ මත්ස්‍ය වගාව එහි ඉතා දියුණු මට්ටමක පවතින අතර, ඒ සඳහා නවීන තාක්ෂණය උපරිමයෙන් භාවිත කෙරේ. ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව තුළ එවැනි දැවැන්ත විභවයක් පැවතිය ද, මේ වන විට ඒ සඳහා සිදු කර ඇති ආයෝජන ප්‍රමාණය ඉතා සීමිතය. අපගේ මුහුදු සීමාව පදනම් කර ගනිමින්, මෙම ඉහළ තාක්ෂණයෙන් යුතු කූඩු තුළ මත්ස්‍ය වගා ක්‍රමය ශ්‍රී ලංකාවට ඉතාමත් සාර්ථකත්වයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 මෙම සාකච්ඡා මාලාවේ පළමු හමුව පැවැත්වීය. මෙම සාකච්ඡා තවදුරටත් පවත්වා, දෙපාර්ශ්වය එක්ව වඩාත් සාර්ථක ආයෝජන අවස්ථා හඳුනා ගැනීමට අපේක්ෂා කරති.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.