විදේශ විනිමය උපයා ගැනීම සඳහා විකල්ප මාර්ග පිළිබඳව රජයේ අවධානය යොමු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්න වලට පිලිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය අද (24) පෙරවරුවේ මේ බව සදහන් කළාය.
වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය මෙසේද පැවසීය.
වර්තමානයේ මුහුණ දී ඇති ණය අර්බුදයෙන් මිදීමට ඇති එකම මාර්ගය අපනයන වර්ධනය කිරීම පමණක් නෙමෙයි. විදේශ විනිමය උපයා ගැනීම සඳහා භාවිත කළ හැකි අනෙකුත් විකල්ප මාර්ගයන් පිළිබඳව රජය විසින් අවධානය යොමු කරමින් පවතිනවා. අපනයනකරුවන් විසින් මුහුණ දෙන විවිධ ගැටලු සඳහා විසඳුම් ලබාදීමට රජය විසින් පියවර ගනිමින් සිටිනවා. ඒ සඳහා 2025 අයවැය තුළින්ම විශේෂ අවධානය යොමු කර අවශ්‍ය ප්‍රතිපාදන සැලසීමට බලාපොරොත්තු වෙනවා.
දේශීය මිල ස්ථායීතාවය සාක්ෂාත් කර ගැනීම සහ පවාත්වාගෙන යෑමේ වගකීම පැවරී ඇති ව්‍යවස්ථාපිත ආයතනය මහබැංකුව.
රටේ පොලී අනුපාතික පිලිබඳ බොහෝ දුරට තීරණය ගන්නේ මහ බැංකුව විසින් ගනු ලබන මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මගින්. ශ්‍රී ලංකා මහ බැංකුව සමස්ථ ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත්කිරීමේ අරමුණින් 2023 ජූනි මාසයේ සිට ලිහිල් මුදල් ප්‍රතිපත්ති අනුගමනය කළා ඒ අනුව ඉතිහාසයේ පැවති සාමාන්‍යය ආර්ථික තත්ත්වය කරා ළඟා වෙමින් තිබෙනවා.
වෙළඳපොළ පොලී අනුපාතික සැලකිය යුතු අඩු වීමක් වාර්තා කරමින් බොහෝ දුරට සාමාන්‍ය කරණය වී තිබෙනවා. 2027 තුළදී ආර්ථිකය සියයට පහකින් පමණ වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරනවා.
වෙළඳපොළ පොලී අනුපාතිකය අඩුවීම ස්ථාවර ආදායම් ලබන්නන්ට මෙන්ම විශේෂයෙන් පොලී ආදායම මත යැපෙන ජනගහනයට බලපානවා. ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටක පොලී අනුපාත මට්ටම තීරණය වන්නේ ආර්ථික සාධක ගණනාවක එකතුවකින්. එම ආර්ථික සාධක අතරට ජාත්‍යන්තර රාජ්‍ය ආයෝජකයන් විසින් රටට නියම කරන ලද අවදානම් අධි මිල මුදල් ප්‍රතිපත්ති, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය, වෙළඳපොළ තත්ත්වයන්, රටේ ණය ශ්‍රේණිගත කිරීම, ගෝලීය පොලී අනුපාතික ප්‍රවණතා සහ ප්‍රාග්ධන ප්‍රවාහ වැනි බාහිර සාධකද ඇතුළත් වෙනවා.
කොළඹ වරායේ බහලුම් අංගනයේ සිදුවන ප්‍රමාදයන් පිළිබඳ ගැටළු සඳහා පිළියම් ලෙස රජය විසින් පහත පරිදි කෙටි කාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර තිබෙනවා. කෙටිකාලීන ක්‍රියාමාර්ග ලෙස සතියේ සෑම දිනකම දවසේ පැය විසි හතර පුරා භාණ්ඩ පරීක්ෂා කිරීමේ මෙහෙයුම් සිදු කිරීම සහ රේගු කාර්ය මණ්ඩලය සහ භාණ්ඩ නිෂ්කාශන ක්‍රියාවලියට අදාළ අනෙකුත් රාජ්‍ය ආයතන ක්‍රියාත්මක කරනවා. රේගු නිෂ්කාශන ක්‍රියාවලිය සිදුකළ යුතු බහලූම් රඳවා ගැනීම සඳහා පෑලියගොඩ පිහිටි ඒෂියන් බහාලූම් අංගනයේ ඇති ඉඩ පහසුකම් භාවිතයට ගැනීමට කටයුතු කර තිබෙනවා. රේගුවේ භාණ්ඩ නිෂ්කාශනය කඩිනම් කිරීම සඳහා සහය වීමට සියලුම පාර්ශවකරුවන් සමග සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීමටත් කටයුතු කරනවා. භෞතික පරීක්ෂා කිරීම සිදුකිරීමට අවශ්‍ය බහලුන් ධාරිතාව අඩු කිරීම සඳහා රේගුවේ අවධානම් කළමනාකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සිදු කරනවා. මධ්‍ය කාලීන ක්‍රියාමාර්ග ලෙස අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමෙන් පසුව නිදහස් කිරීමට ඇති බහලුම් පටවන ලද ලොරි නවතා තැබීම සඳහා වරායේ පිටවන ගේට්ටුව ආසන්නයේ ඇති බ්ලූ මැණ්ඩල් ප්‍රදේශයේ ඉඩමක් වෙන් කිරීම සහ අනෙකුත් රාජ්‍ය ආයතන මගින් නිෂ්කාශනය කළ යුතු වන බහාලූම් රඳවා තැබීම සඳහා අමතර ඉඩමක් අත්පත් කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.