ආයුර්වේද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි අවධානය

ආයුර්වේද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි අවධානය
  • SocialShare:

ගුණාත්මක සහ ප්‍රමිතිගත නිෂ්පාදන ජනතාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව ආයුර්වේද ඖෂධ මෙන් ම ආයුර්වේද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි ලෙස අවධානය යොමුකරමින් නියාමනයකට ලක්කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභාවේ නව සාමාජිකයන්ට උපදෙස් ලබා දෙන ලදී.

අමාත්‍යවරයා මෙම අදහස් දැක්වුයේ ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභාවට සාමාජිකයන් පත් කිරීම වෙනුවෙන් ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එම පත්වීම් ලිපි ප්‍රදානය පසුගිය දා රාජගිරිය ආයුර්වේද ජාතික රෝහල් ශ්‍රවණාගාරයේ දී සිදුවිය.

ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභාවට සභාපතිවරයා ඇතුළු ව සාමාජිකයින් 17 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානයෙන් අනතුරුව පළමු ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභා සැසිවාරය ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එහි දී පැවැත්විණි.

දේශීය ඖෂධ නිෂ්පාදනාගාර, දේශීය ඖෂධ වර්ග නිෂ්පාදනය, දේශීය ඖෂධ වෙළෙදසැල්, දේශීය වෛද්‍ය උපකරණ, දේශීය වෛද්‍ය රූපලාවන්‍ය නිෂ්පාදනය, දේශීය ඖෂධ ආනයනය සහ අපනයනය, දේශීය ඖෂධ ගබඩා කිරීම සහ ප්‍රවාහනය සහ දේශීය ඖෂධ කර්මාන්තයට අදාළ ඔසු වගාව යන අංශවල නියාමනය සඳහා වූ නීති ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභාව යටතේ ආවරණය වේ.

එමෙන්ම ආයුර්වේද ඖෂධ පිළිබඳ තාක්ෂණික කමිටුව, ආයුර්වේද නිෂ්පාදනාගාර,ගබඩා ඇගයීමේ කමිටුව, ආයුර්වේද නිෂ්පාදනාගාර,ගබඩා සහ වෙළඳපොළ විමර්ශන කමිටුව, ඖෂධ පැළෑටි ඇගයීම සදහා වූ නිලධාරීන්ගේ කමිටුව යන කමිටු හතර ද ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභාවේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.

මෙම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා ආයුර්වේද ක්ෂේත්‍රයේ නියාමනය වගකීමෙන් දුරස් වූ විට ගුණාත්මක, තත්ත්වයෙන් උසස් නිෂ්පාදන ජනතාවට නොලැඹෙන බවත්, වර්තමානය වන විට ඒ පිළිබඳව පැමිණිලි රාශියක් ලැබී තිබෙන බව ද සිහිපත් කළේ ය. ආයුර්වේද ඖෂධ මෙන් ම ආයුර්වේද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි ලෙස අවධානය යොමුකර නියාමනයකට ලක්කිරීමේ වැදගත්කම පිළිබඳව අමාත්‍යවරයා මෙහි දී නව සාමාජිකයන්ට දීර්ඝව කරුණු පෙන්වා දෙන ලදී.

දේශීය වෛද්‍ය ක්‍රමය මනා ලෙස සංවර්ධනය කරමින් අනාගත ඉලක්ක ගතව එම වෛද්‍ය ක්‍රමයට අදාළ වූ සුවිශේෂතා හදුනාගනිමින් එම සුවිශේෂතා සංචාරක ව්‍යාපාරය හා බද්ධ කර සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීම ද වත්මන් රජයේ ප්‍රධාන අරමුණක් බව ද මෙහි දී අමාත්‍යවරයා සඳහන් කළේ ය. එමෙන් ම සංචාරක කලාපයන්හි ස්ථාපිත බටහිර සහ ආයුර්වේද රෝහල් පද්ධතියන් හි සංකලනයක් ඇතිකොට එහි මානව හා භෞතික පහසුකම්වල ද කඩිනම් වර්ධනයක් සිදු කිරීමට රජය ක්‍රියා කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
මෙම අවස්ථාවට ආයුර්වේද කොමසාරිස් ජනරාල් වෛද්‍ය ධම්මික අබේවික්‍රම මහතා ඇතුළු ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභාවට අලුතින් පත් වු සාමාජිකයින් මෙන් ම ආයුර්වේද වෛද්‍යවරුන්, නිලධාරීන්, ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.