විජය කුමාරතුංග රෝහලේ සේවා තවදුරටත් පුළුල් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය

විජය කුමාරතුංග රෝහලේ සේවා තවදුරටත් පුළුල් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය
  • SocialShare:

සැලසුමකින් තොරව, රජයේ රෝහල්වල ධාරිතාවයට සහ අවශ්‍යතාවයන්ට නොගැළපෙන භෞතික සම්පත් ලබාදීම මත රෝහල්වලට මෙන්ම අමාත්‍යාංශයට ද විවිධ ගැටලු මතුවීම් සහ චෝදනා එල්ලවීම් සිදුවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

විශේෂයෙන්ම නිසි සැලසුමකින් තොරව රජයේ රෝහල්වලට ගොඩනැගිලි සහ වෛද්‍ය උපකරණ අනවශ්‍ය පරිදි ලබාදීම නිරන්තරයෙන් සිදුවන බවත්, අනතුරුව ඒවා භාවිතයට කාර්ය මණ්ඩල සපයා නොමැති බවට අමාත්‍යාංශයට බහුල ලෙස චෝදනා එල්ලවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයට අයත් සීදූව විජයකුමාරතුංග අනුස්මරණ රෝහලේ ප්‍රතිකාර සේවාවන් හි වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබදව පසුගියදා රොහල් පාලනාධිකාරිය සමග එම රෝහල් පරිශ්‍රයේ පැවැත් වූ සාකච්ඡාවක දී ය.
දිවංගත විජය කුමාරතුංග කලාකරුවා සිහිවීම පිණිස මෙම රෝහල විජය කුමාරතුංග අනුස්මරණ රෝහල ලෙස එවකට සිටි ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතින් 1999 ඔක්තෝබර් මස 09 දින ජනතා අයිතියට පත්කෙරුණි. මෙම රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිනිය ලෙස වර්තමානයේ ද හිටපු ජනාධිපති, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කටයුතු කරනු ලබයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන මෙම රෝහලේ බාහිර රෝගී අංශය, අක්ෂි ප්‍රතිකාර ඒකකය, දන්ත වෛද්‍ය ඒකකය, ප්‍රාථමික සත්කාර ඒකකය, රසායනාගාර සේවා, ශල්‍ය ඒකකය, එක්ස් කිරණ සහ ඊ.සී.ජී ඒකකය ඇතුළු අංශ ගණනාවක වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහි දී කරුණූ සොයා බලන ලදි.
එමෙන්ම 2020 වසරේ සිට මේ දක්වා රෝහලේ කාර්ය සාධනය, රජයේ ප්‍රධාන, ඉපැයීම් සහ වියදම්, පරිත්‍යාග ලැබිම්, 2025 වසරට අදාළ ව වෛද්‍ය උපකරණ, ගෘහභාණ්ඩ සහ ගොඩනැගිලවලට අදාළ මුළු ඇස්තමේන්තුගත ප්‍රාග්ධන අයවැය ඇතුළු පරිපාලන කටයුතු පිළිබදව ද මෙහි දී අමාත්‍යවරයා දැඩි අවධානයකින් යුතුව කරුණු සොයා බලනු ලැබීය.
මෙම රෝහල මගින් අඩු ආදායම්ලාභීන්ට සහ අනුමත සුදුසුකම් සපුරා ඇති සහ වකුගඩු රෝගීන්ට අක්ෂි කාචයේ සිට දැනට සපයන ප්‍රතිකාර සේවා නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙළ තවදුරටත් වඩා ක්‍රමවත් ව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලසුම් පිළිබඳ ව මෙහි දී අමාත්‍යවරයා සිය අදහස් ඉදිරිපත් කරන ලද අතර, අක්ෂිකාච ලබාගැනීමේ වැඩපිළිවෙළ, රෝහලට අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාගැනීම හා නඩත්තුව, භාණ්ඩාගාරය සමග සම්බන්ධ ව රෝහලට ලැබෙන පරිත්‍යාග බදුවලින් නිදහස් කර ගැනීම යන රෝහල් කළමනාකාරීත්වයේ ඉල්ලීම් ඉටුකරදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරන බව ද පැවසීය.
මෙම රෝහලේ දැනට අක්‍රීය වී පවතින උපකරණ යථා තත්ත්වයට පත්කර රෝහල මගින් ලබාදෙනු ලබන රෝගී ප්‍රතිකාර සේවා වැඩිදියුණූ කරගැනිම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපරිම සහයෝගය ලබාදෙන බව මෙහිදී සඳහන් කළ අමාත්‍යවරයා විජය කුමාරතුංග රෝහල මගින් සිදු කරන අක්ෂි සම්බන්ධ රෝග ප්‍රතිකාර සහ ශල්‍යකර්ම සේවාවන් ඇගයීමට ද ලක් කෙරිණි. මෙහි දී කෙටිකාලීන සංවර්ධන යෝජනා සහ අදහස් පිළිබඳව ද අවධානය යොමු කළ අමාත්‍යවරයා රෝහල මගින් ලබාදෙනු ලබන ප්‍රතිකාර‌ සේවාවන් තවදුරටත් පුළුල් කර ශක්තිමත් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමේ පුළුල් සැලැස්මක් සකස් කරන බව ද පැවසීය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, විජය කුමාරතුංග රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් වන එන්.ඒ උමගිලිය, ආනන්ද විමලවංශ, වයි.පී සුමනාවතී, වෛද්‍ය චාමර කුමාරගේ, වෛද්‍ය චරිත් ෆොන්සේකා, මෙහෙයුම් කළමනාකරණ කණ්ඩායම නියෝජනය කරමින් අධ්‍යක්ෂ ජී.ඩි.ඒ රණවීර, ප්‍රධාන හෙද නිලධාරිනී ඒ.එම්.එච් කේ අලහකෝන්, ගණකාධිකාරී පී.ඩී.ටී.පී.එන් බර්නාඩ්, පරිපාලන නිලධාරී අර්.ඒ.ඒ.එස්.කේ රණසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.