ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) විසින් ක්‍රියාත්මක කරනු ලබන "වැව අපේ කම්හලයි" වැඩසටහන යටතේ පසුගිය මාස හතර තුළ දිවයින පුරා පිහිටි කාලීන හා නිත්‍ය ජලාශවල මත්ස්‍ය පැටවුන් මිලියන 18ක් සාර්ථකව තැන්පත් කර ඇති බව සභාපති කිත්සිරි ධර්මප්‍රිය මහතා පවසයි.
මෙම මත්ස්‍ය පැටවුන් තැන්පත් කිරීම සඳහා රුපියල් විසි දෙකෝටි පනස් ලක්ෂයක මුදලක් වැය කර ඇති අතර, එක් පැටවෙකුගේ සාමාන්‍ය වටිනාකම රුපියල් 12.50කි. මෙම පිරිවැයෙන් රුපියල් කෝටි දොළහක් පමණ රජයේ ආයෝජනයක් ලෙස ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් දරනු ලබන අතර, ඉතිරි රුපියල් කෝටි දහය ප්‍රදේශයේ ධීවර සමිතිවල සාමාජිකයින්ගේ දායකත්වය, පළාත් සභා සහ අනෙකුත් ව්‍යාපෘතිවලින් ලැබුණු ආධාර මත සිදු කර ඇත.
"වැව අපේ කම්හලයි" වැඩසටහන යටතේ මේ වන විට දිවයින පුරා තෝරාගත් නිත්‍ය ජලාශ එක්සිය පහළොවක මිරිදිය ධීවර ප්‍රජාව සමඟ එක්ව සකස් කරන ලද මාසික මත්ස්‍ය පැටවුන් තැන්පත් කිරීමේ සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ වැඩසටහන ආරම්භ වී වසරක් ගත වූ පසු එක් ධීවරයෙකුගේ මාසික අවම අස්වැන්න කිලෝග්‍රෑම් 500 දක්වා ඉහළ නැංවීමයි. එමඟින් ධීවර කාර්මිකයෙකුගේ මාසික අවම ආදායම රුපියල් 150,000 ඉක්මවන අතර, අගය එකතු කිරීමේ කටයුතු තුළින් පවුලේ කාන්තාවන්ට අවම වශයෙන් රුපියල් පනස් දහස ඉක්මවන මාසික ආදායමක් ලබා ගැනීමට අවස්ථාව සැලසේ.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ධීවර සමිති සමඟ මූලික සාකච්ඡා පවත්වා ඔවුන්ගේ එකඟතාවය ලබා ගැනීම, කාන්තා කණ්ඩායම් හමුවී ඔවුන්ගේ ගැටලු හඳුනාගෙන වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීම, ධීවර සමිතියේ සියලු සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් දින පහක සැලසුම්කරණ වැඩසටහනක් පැවැත්වීම, පසුගිය වසර පහක දත්ත විශ්ලේෂණය කර අපේක්ෂිත අස්වැන්න සඳහා මත්ස්‍ය පැටවුන් තැන්පත් කිරීමේ සැලැස්ම සැකසීම, මූල්‍ය ප්‍රවාහ සැලැස්ම සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීමේදී මතුවිය හැකි ගැටලු හා ඒවාට විසඳුම් සාකච්ඡා කර නීතිරීති පද්ධතියක් සම්මත කර ගැනීම ආදී පියවර රැසක් ඇතුළත් වේ.
"වැව අපේ කම්හලයි" වැඩසටහන ජාතික මට්ටමින් මිරිදිය ධීවර කර්මාන්තයේ ප්‍රබෝධයක් ඇති කරනු ඇතැයි ද, ධීවර ප්‍රජාවගේ ආර්ථික වර්ධනයටත්, රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමටත්, පෝෂණ ඌනතාවයන් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ උත්සාහයටත් එය මහත් පිටිවහලක් වනු ඇතැයි ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය පවසයි.