ආපදාවට පත් වූ ලක් වැසියන්ට සෙත් පතා සර්වාගමික වැඩසටහන් මාලාවක් හෙට(09) සිට

ආපදාවට පත් වූ ලක් වැසියන්ට සෙත් පතා සර්වාගමික වැඩසටහන්  මාලාවක් හෙට(09) සිට
  • SocialShare:

දිට්වා සුළි කුණාටුවෙන් හා ගංවතුර හේතුවෙන් ආපදාවට පත් රටවැසියන්ට සෙත් පැතීම හා ජීවිත අහිමි වූ සියලුදෙනා වෙනුවෙන් පිං පැමිණවීම අරමුණු කොටගෙන සර්ව ආගමික වැඩසටහන් මාලාවක් හෙට(09) සිට දිවයින පුරා  ආරම්භ කරන බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ අද (8) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡවකට එක් වෙමිනි.

මෙම වැඩසටහන් මාලාවේදී ආපදාවට පත් වූ රටවැසියන්ට සෙත් පැතීම හා ජීවිත අහිමි වූ සියලුදෙනාට පිං පැමිණවීම  සඳහා හෙට රාත්‍රී  හුණුපිටිය ගංගාරාම සීමාමාලකයේදී පරිත්‍රාණ ධර්ම දේශනයක් හා පසුදා උදෑසන 100ක් නමකට සංඝ දක්ෂිණාවක් පැවැත්වීමට නියමිතතය. හින්දු බැතිමතුන්ගේ එක් වීමෙන් බම්බලපිටිය කදිරේශන් කෝවිලේත්, කතෝලික බැතිමතුන්ගේ දායකත්වයෙන් ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝසප් දේවස්ථානයේත්, ක්‍රිස්තියානි ජනතාව වෙනුවෙන් ප.ව 7ට ශාන්ත පාවුළු දේවස්ථානය කොළඹ  08 ස්ථානයේත්, ඉස්ලාම් ආගමිකයන් වෙනුවෙන් ප.ව 3.45 ට වැල්ලවත්ත ජුම්මා පල්ලියේත් ආගමික වතාවත් සිදු කිරීමට නියමිතය.

එමෙන්ම දැනට හඳුනාගෙන ඇති පරිදි බෞද්ධ     සිද්ධස්ථාන 379කුත්, කෝවිල් 165කුත් , ක්‍රිස්තියානි පල්ලි 63කුත්, මුස්ලිම් මස්ජිද 157ක් සුළි කුණාටුවෙන් හා ගංවතුරෙන් ආපදාවට ලක් වී ඇත.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ පූර්ණ හා අර්ධ වශයෙන් හානි වූ මෙම සර්ව ආගමික ස්ථාන සියල්ල පිළිසකර කර නැවත නගා සිටුවීම සඳහා එක ආගමික ස්ථානයකට රු.25 000 ක දීමනාවක් ලබා දෙන බවයි.

මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා විද්‍යා හා තාක්ෂණික අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාද , බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නි. අමාත්‍ය මුනාර් මුහීල් මහතාද වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මාහතාද බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික  කටයුතු ලේකම් ප්‍රින්ස් සේනානායක් මහතාද එක් වීය.