එළැඹෙන ජනවාරි මස 01 වැනිදා සිට මාසික අවම වේතනය රුපියල් 30,000/- දක්වා වැඩි කෙරේ

එළැඹෙන ජනවාරි මස 01 වැනිදා සිට  මාසික අවම වේතනය රුපියල් 30,000/- දක්වා වැඩි කෙරේ
  • SocialShare:

එළැඹෙන ජනවාරි මස 01 වැනිදා සිට මාසික අවම වේතනය රුපියල් 30,000/- දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.


එලෙස මාසික අවම වේතනය වැඩි කිරීම සේවක අර්ථසාධක අරමුදල්, සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල්, අතිකාල, පාරිතෝෂික, ප්‍රසූතිකාධාර ගෙවීම් සහ නිවාඩු දින ගෙවීම් යනාදී සියලු ව්‍යවස්ථාපිත ගෙවීම් සඳහා අදාළ කර ගත යුතුව ඇත.
ඒ අනුව, 2025 අංක 11 දරන සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත, 2025 අංක 09 දරන සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත සහ 2025 අංක 10 දරන සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත 2025‑04‑01 දින සිට ක්‍රියාත්මක වන පරිදි 2025‑07‑22 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කර තිබේ.
එකී විධිවිධාන අනුව 2025‑04‑01 වන දින සිට මාසික අවම වේතනය රුපියල් 17,500/- සිට රුපියල් 27,000/- දක්වා වැඩි වන අතර, 2026‑01‑01 දින සිට මාසික අවම වේතනය රුපියල් 30,000/- දක්වා වැඩි කෙරේ.
එමෙන්ම, අතරමැදියෙකු හෝ කොන්ත්‍රාත්කරුවෙකු හරහා යම් කර්මාන්තයක හෝ සේවාවක සේවයේ නිරත කරනු ලබන සේවකයන් සම්බන්ධයෙන් ආසන්නතම සේවායෝජකයා මෙන්ම අවසාන සේවායෝජකයා ද ඇතුළුව සෑම සේවායෝජකයෙක්ම එකී නියමයන්ට යටත්ව පියවර ගැනීම සඳහා නීතියෙන් බැඳී සිටී.
එම විධිවිධාන ක්‍රියාත්මක කිරීම පිණිස කම්කරු කොමසාරිස් ජනරාල් වෙත බලය පැවරී ඇති අතර, ඒ අනුව එම විධිවිධාන පිළිබඳව පුවත්පත් දැන්වීම් මඟින් අදාළ පාර්ශ්වයන් දැනුම්වත් කිරීමට දැනටමත් පියවර ගෙන ඇත. මෙම තොරතුරු කම්කරු ඇමැති අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් ඇමැති මණ්ඩලයේ අවධානයට ඉදිරිපත් කරන ලදුව, එම විධිවිධාන නිසි පරිදි ක්‍රියාත්මක වන බව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් ඇමැති මණ්ඩලයේ එකඟතාව ලබාදී තිබේ.
2025 අයවැය යෝජනාවක් අනුව, රාජ්‍ය අංශයේ සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ද ජාතික අවම වේතනය ඉහළ නැංවීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දෙන ලදී.