මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රිදී පදක්කමක් දිනූ සුදේශ්ට ලක්ෂ 30ක් - පුහුණුකරුට ලක්ෂ 7.5ක්

    අගෝස්තු 06, 2014

    20 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනාදුන් සුදේශ් පීරිස් ක්‍රීඩකයාට ක්‍රීඩා අමාත්‍යාංශය විසින් රු. ලක්ෂ 30ක මුදලක් පිරිනැමීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සුදේශ් පීරිස් ක්‍රීඩකයා අද (06) දින ක්‍රීඩා අමාත්‍යාංශයේදී පිළිගනිමින් අවධාරණය කළේය.

    ග්ලාස්ගෝ පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය නියෝජනය කළ රිදී පදක්කම්ලාභී සුදේශ් පීරිස් මහතා අද දිවයිනට පැමිණි අතර ඒ වෙනුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී විශේෂ අමුත්තන්ගේ මැදිරියේදී විශේෂ පිළිගැනීමේ උත්සවයක් පැවැත්වූ අතර සුදේශ් පීරිස් ක්‍රීඩකයා පිළිගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශයේදී ද අද පෙරවරුවේ චාම් උත්සවයක් පැවැත්වුණි.

     

    මෙහිදී උත්සව සභාව ඇමතූ ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සුදේශ් පීරිස් ක්‍රීඩකයා මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් මව්බිමට දිනාගැනීමට හැකි වූ එකම රිදී පදක්කම දිනාදීම පිළිබඳව ඔහුට සුබ පැතූ අතර එම පදක්කම දිනා ගැනීමට කැප වූ සියලු දෙනාටම සිය කෘතවේදීත්වය පළ කළේය.


    මෙහිදී වැඩිදුරටත් කතා කළ ක්‍රීඩා අමාත්‍යවරයා;

    2010 වර්ෂයේදී ආසියානු ක්‍රීඩා උළෙලේදී එකම පදක්කමවත් දිනා ගැනීමට නොහැකිව බිඳවැටුණු ක්‍රීඩාව යළි ගොඩනැගීමට ක්‍රීඩා සංගම් සමග සමීපව කටයුතු කරමින් ක්‍රීඩා ඉසව්වලට උපරිම සම්පත් ප්‍රමාණයක් ලබා දුන්නා. ජාතික සංචිතවල ක්‍රීඩකයන්ට මාසික මුදලක් ලබාදෙමින් ක්‍රීඩාව පෝෂණය කරන්න පහසුකම් ලබා දුන්නා. සංගම්වලට කෝටි ගණනක ක්‍රීඩා භාණ්ඩ, උපකරණ ලබාදුන්නා. ජාතික සංචිතවලට නේවාසික පහසුකම් දුන්නා. මේ සියල්ල ලබා දී තිබුණත් අපේ රටට දිනාගන්න ලැබුණේ එකම පදක්කමක් විතරයි. 1948 ඩන්කන් වයිට් පදක්කමක් දිනාගත් පසු සුසන්තිකා ජයසිංහට පදක්කමක් දිනාගන්න ලැබුණේ 2000 වසරේදී. හරියටම වසර 52කට පස්සේ. නමුත් ලෝකයේ වෙනත් රටවල් අවුරුදු හතරෙන් හතර දිනාගත් පදක්කම් වැඩි වී තිබෙනවා. නමුත් අපේ රටේ එහෙම වෙන්නේ නැත්තේ අපේ ක්‍රමවේදයේ පවතින දුර්වලතාවන් නිසා බව පැහැදිලි වෙනවා.


    තවදුරටත් අහඹු පදක්කම් දිනා ගැනීම වෙනුවට විශේෂයෙන් පාසල් කාලයේ සිටම ක්‍රීඩකයන් හැදීමේ ක්‍රමවේදයක් පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා. ජාතික ක්‍රීඩා පාසලක් තුළින් ඒ අපේක්ෂාව දියුණු කර ක්‍රීඩාව පිළිබඳව උසස් අධ්‍යාපනයක් ලබාදීම දක්වා යන ක්‍රියාදාමයක් පිළිබඳ අතිගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමුකර ක්‍රීඩාව නිවැරදි ක්‍රමවේදයක් මත මෙහෙයවන ක්‍රියාවලියක් බවට පත් කිරීම අපේ අරමුණ වී තිබෙනවා. අපි පසුගිය කාලපරිච්ඡේදයේදී ක්‍රීඩාව ගැන පුළුල්ව අධ්‍යයනය කර අවශ්‍ය වෙනස්කම් සඳහා තීන්දු තීරණ ඉදිරියේදී ගන්න බලාපොරොත්තු වෙනවා.

     

    මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 104ක් සහභාගී වුණා. නමුත් ඉදිරියේදී අවම වශයෙන් ලෝක මට්ටමෙන් හයවන ස්ථානයේවත් නැත්නම් අපි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී කරවන්නේ නැහැ. ක්‍රීඩකයන් විශාල ප්‍රමාණයක් සහභාගී කරවීමෙන් වැයවෙන මුදල් ක්‍රීඩාවේ දියුණුවට යොදවලා ජයග්‍රාහී මට්ටම්වල  තිබෙන ක්‍රීඩාවන් තවදුරටත් දියුණු කරන්න කටයුතු කරනවා. අපි දැක්කා මේ ක්‍රීඩා උළෙලේදී ලෝකයේ අනෙක් රටවල්වල ක්‍රීඩකයන්ගේ ඉලක්ක. අපේ ඇතැම් ක්‍රීඩකයන් තුළ ක්‍රීඩාවේ ඉලක්ක ගැන අවබෝධයක් තිබුණේ නැති කමෙන් රටට ලබාගැනීමට තිබූ පදක්කම් 02ක් අපේ රටට අහිමි වුණා. බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් අපි පදක්කම් 03ක් බලාපොරොත්තු වුණා. නමුත් අපට දිනා ගන්න ලැබුණේ එක පදක්කමක් විතරයි. අනෙක් පදක්කම් 02 අපෙන් ගිලිහුණේ තාක්ෂණික මට්ටමෙන් අප තුළ තිබූ දුර්වලතා නිසයි. මේ පිළිබඳව සොයා බලන්න ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මේ එක සිද්ධියක් පමණයි. පසුගියදා ඉන්දියාවේ පැවැති කරාතේ ශූරතාවලියේදීත් මේ වගේ සිද්ධියක් වුණා. ඉදිරියේදී මෙවැනි දුර්වලතා සිදුවීම අවම කරන්න අපි මේ පිළිබඳ පරීක්ෂණයක් කිරීමට බලාපොරොත්තු වන බවද මෙහිදී අමාත්‍යවරයා පැවසීය.

     

    මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික්‍රම, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් රංජනී ජයකොඩි, අතිරේක ලේකම් සමන් බණ්ඩාර ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක් සහභාගී වූහ.
    MAP

    sudesh2

    sudesh3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya