මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා සංවර්ධන පස් අවුරුදු සැලැස්ම එළිදකී

    දෙසැම්බර් 16, 2016

    2017 රජයේ අයවැය යෝජනා මගින් පාසල් දරුවන්ගේ ශාරීරික අධ්‍යාපනය ඉහළ නැංවීම ක්‍රීඩා කුසලතා ඔප් නැංවීම අරමුණු කරගෙන විවිධ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් විශාල මුදල් ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

    ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා සංවර්ධන වැඩසටහන පිළිබඳ පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

    ඒ මහතා ප්‍රකාශ කළේ අද දින එළි දක්වන ලද පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්ම යටතේ 2017 වසරේ සිට ඉදිරි වසර පහ ඇතුළත පහත ප්‍රධාන ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීමට කටයුතු සැලසුම් කර තිබෙන බවයි.

    ·         ශාරීරික අධ්‍යාපන විෂය ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරෙන් ක්‍රීඩාංගනය තුළ ක්‍රියාත්මක කිරීම

    ·         සෑම සිසුදරුවකු ම කිසියම් හෝ ක්‍රීඩාවක නිරත කරවීමට කටයුතු කිරීම

    ·         ප්‍රාථමික අධ්‍යාපන අංශයේ සිසුන්ගේ ශාරීරික ක්‍රියාකාරකම් වැඩසටහන යාවත්කාලීනව පවත්වාගෙන යාම

    ·         පාසල් ක්‍රීඩා තරග නියමිත පරිදි සංවිධානය

    ·         සිසුන්ගේ ශාරීරික යෝග්‍යතාව අගයමින් දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම හා ඔවුන් ක්‍රීඩා පාසල් වෙත යොමු කරවීම

    ·         ක්‍රීඩා දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා දිස්ත්‍රික් මට්ටමින් පුහුණු සංචිත ක්‍රියාත්මක කිරීම

    ·         දිස්ත්‍රික් මට්ටමේ ක්‍රීඩා පාසල් යලි ගොඩනැගීම හා ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ කලාප මට්ටමින් ක්‍රීඩා පාසල් 98ක් පිහිටුවීම

    ·         ජාතික ක්‍රීඩා පාසලක් පිහිටුවීම

    ·         පාසල් ක්‍රීඩා සංගම් ක්‍රමවත් ක්‍රමවේදයක් යටතේ පරිපාලනය කිරීමට කටයුතු කිරීම

    ·         දේශීය හා විදේශීය තරග සඳහා සිසුන් සහභාගී කරවීම

    ·         උදෑසන පාසල් ශරීර සුවතා  වැඩසටහන යාවත්කාලීනව පවත්වාගෙන යාම

    ·         ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා ගුරුවරුන්ගේ දැනුම යාවත්කාලීනව පවත්වාගෙන යාම සඳහා වැඩමුළු පැවැත්වීම

    ·         ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ක්‍රීඩා නායකත්ව පුහුණු වැඩමුළු පැවැත්වීම

    ·         සියලු පාසල් තරග විනිශ්චය කිරීමට ගුරු මහත්ම මහත්මීන් පුහුණු කිරීම

    ·         එක් එක් ක්‍රීඩා සඳහා පුහුණුකරුවන් බිහිකිරීම පිණිස පාඨමාලා ක්‍රියාත්මක කිරීම

    ·         ක්‍රීඩාවේ නියුක්ත වීමේ දී පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගන්නා අන්දම සම්බන්ධව ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැනුවත් කිරීම

    2017 වසරේ සිට පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ශාරීරික අධ්‍යාපන ක්‍රියාකාරකම් ප්‍රගුණ කිරීම සඳහා වන අංක ED/9/15/2/3/ පොදු දරන 2016-12-09 දිනැති පාසල් ක්‍රීඩා ප්‍රවර්ධන චක්‍රලේඛය නිකුත් කිරීම සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීම ද මෙහිදී සිදු  විය.

    ඒ අනුව, ඉදිරියේ දී ජාතික මට්ටමින් පවත්වන පාසල් ක්‍රීඩා තරග සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගීත්වය, කණ්ඩායම් තෝරාගැනීම, පුහුණු කිරීම සහ ඉදිරිපත් කිරීම සම්බන්ධව මෙතෙක් නිකුත් කර ඇති චක්‍රලේඛ අභිබවා මෙම චක්‍රලේඛය බලපැවැත්වෙනු ඇති.

    ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා ජාතික සංවර්ධන වැඩසටහන් පාසල් පද්ධතිය තුළ ක්‍රියාවට නැංවීම වෙනුවෙන් සෘජුව දායක වන සියලු විෂය භාර පළාත් සහ කලාප අධ්‍යක්ෂවරුන්, පාසල් ක්‍රීඩා සංවර්ධන නිලධාරීන් ඇතුළු පිරිස ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර, ඔවුන් තම අදහස්, යෝජනා සහ ගැටලු සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සුහද කතාබහක ද නිරත විය.

    මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධ ක්‍රිෂ්ණන්, අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, ඇතුළු අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මෙන්ම, පළාත් සහ කලාප අධ්‍යාපන නිලධාරීන්  රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya