නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දික්ඕවිට ඉදිකරන ලද ධීවර වරාය විවෘත වේ

    දෙසැම්බර් 03, 2014

    රුපියල් මිලියන 70ක වියදමින් දික්ඕවිට ඉදිකරන ලද ධීවර වරාය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන වැඩබලන අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා විවෘත කෙරිණි.


    එක්දින ධීවර කර්මාන්තයේ යෙදී සිටි දික්ඕවිට ප්‍රදේශයේ ජීවත් වූ ධීවර ජනතාවගේ යාත්‍රා නවතා ගැනීමට නොහැකි වීමත් මුහුදේ රළු බව නිසා යාත්‍රා නොයෙක් අනතුරුවලට මුහුණ දීමට සිදුවිය. මෙම තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ ධීවර ජනතාව මහත් අපහසුතාවන්ට මුහුණ දුන්හ. එයට විසඳුමක් හා ජනතාවගේ ඉල්ලීමක් ඉටුකරමින්  දියකඩනයක් හා නැංගුරම් පොළක් ඉදිකොට ජනතා අයිතියට පත්කිරීම මෙහිදී සිදු කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය. 


    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා "වත්මන් රජය යටතේ ධීවර ක්ෂේත්‍රයේ පුළුල් සංවර්ධනයක් ලබා ගෙන තියෙනවා. විශේෂයෙන් අපේ අරමුණ වන්නේ ජාතික ආර්ථිකයේ ප්‍රධාන හවුල්කාරයා වීමයි. ඒ තුළින් ජාතික මත්ස්‍ය නිෂ්පාදනය වැඩි කරමින් එම අරමුණට ළඟාවීමට මේ වන විටත් අමාත්‍යාංශයක් හැටියට සියලු සැලසුම් සකස් කොට අවසන්. ඒ තුළ ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමටත් මන්දපෝෂණය අවසන් කිරීමටත් පියවර ගැනීම අපේ අරමුණයි. ඒ නිසා ම පසු අස්වනු නාස්තිය අවම කොට ධීවර ජනතාවට අවශ්‍ය සියලු ම යටිතල පහසුකම් සපුරාලීමෙන් මෙම තත්ත්වය උදාකරගත හැකි බව අපේ අරමුණයි. ඒ නිසා ම තමයි රට පුරා ධීවර වරායන්, නැංඟුරම් පොළවල් ඇති කොට අවශ්‍ය පහසුකම් ලබාදීමට පියවර ගෙන තියෙන්නේ.

    මේ යුගය ධීවර කර්මාන්තයේ නිම්වළලු පුළුල් වූ යුගයයි. අප ජනාධිපතිතුමා ධීවර ඇමතිවරයා ලෙස කටයුතු කළ නිසා ම මෙම අමාත්‍යාංශය කෙරෙහි දැඩි අවබෝධයක් තියෙනවා. ඒ නිසා ම මෙම අමාත්‍යාංශයට එතුමාගේ විශේෂ අවධානයක් තියෙන බව කියන්නට ඕනෑ. ධීවර කාර්මිකයා අද තම රැකියාව ඉතා සතුටින් ඉටුකරමින් තම ජීවනෝපායන් ඉහළ නංවාගෙන තියෙනවා. රටේ සංවර්ධනය නිසා ධීවර කර්මාන්තයට ද මහත් අස්වැසිල්ලක් ලැබී තියෙනවා. 

    සමහරු අහනවා පාරවල් කන්නද කියලා. ඒ අහන අයට තේරෙන්නේ නෑ මේ මාර්ග සංවර්ධනය නිසා කර්මාන්ත, ව්‍යාපාරවල වේගවත් සංවර්ධනයක් ළඟා කරගෙන තියෙන බව. අද මාර්ග පද්ධතිය නිසා යාපනයේ ද ත්‍රීකුණාමලේ ද, හම්බන්තොට ද අසුවෙන මාළු ටික පැය දෙක තුනක් වගේ කාලයකින් කොළඹට ගෙන ඒමට හැකියාව ලැබිලා තියෙනවා. ඉස්සර අල්ලන මාළු ටික කොළඹට එනකොට දවස් ගානක් යනවා. එහි ගුණාත්මක බව නැතිව ගොස් කුණු මාළුයි ජනතාවට කන්න වුණේ. මේ නිසා මෙම කර්මාන්තයට නව ආලෝකයක් ලැබිලා තියෙනවා. කොළඹට පමණක් නොව විදේශ රටවලට මාළු යවන්නටත් හැකියාව ලැබුණේ එදා කටුනායක ගුවන්තොටුපොළෙන් පමණයි. අද වෙනකොට දකුණේ ධීවර ජනතාවට ද ලෝකයේ ඕනෑ ම රටකට මත්ස්‍ය ප්‍රවාහනය ගුවනින් යැවීමට මත්තල ගුවන්තොටුපොළ නිසා හැකිවෙලා තියෙනවා.

    විශේෂයෙන් ම කියන්නට ඕනේ මේ රට නිදහස් කරගෙන රට සංවර්ධන මාවතකට යොමු කළේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතායි. විශේෂයෙන් අපේ මුහුද තුනෙන් දෙකක් එදා එල්.ටී.ටී.ඊ.ය අයිති කරගෙන තිබුණා. ධීවර කර්මාන්තය පමණක් නො ව අපේ රට මුළුමනින්ම ආපස්සට එමින් තිබූ යුගයක එයට ශක්තියක් ලබා දෙන්නට ජනාධිපතිවරු හතර දෙනෙක් පත්වුවත් හැකියාව ලැබුණේ නැහැ. නායකයෙක් ලෙස ඍජුව තීරණ ගනිමින් අධිරාජ්‍යවාදීන්ට ගැති නොවී රට බේරාගෙන ජීවත්විය හැකි පරිසරයක් ශ්‍රී ලාංකීය ජාතියට උදාකර දුන් ජනපති මහින්ද රාජපක‍්ෂ මැතිතුමා කළ මෙහෙය මේ රටේ කිසිවෙකුට අමතක කළ නොහැකියි.

    දිනාගත් රට ආපස්සට හැරවීමට නොයෙක් කුමන්ත්‍රණ පිට කුමන්ත්‍රණ ගෙන යනවා. පසුගිය දිනක අපේ හිටපු ලේකම් පක‍්ෂය පාවාදී කුමන්ත්‍රණකරුවන් සමඟ එකතු වුණේත් මේ රට ආපස්සට හැරවීමට. පසුගිය කාලය තුළ මහත් ආන්දෝලනයක් තිබුණා අය-වැය පරදලා මහින්ද මහත්තයව ගෙදර අරිනවා කියලා. ඒකට පිරිසක් එක්වුණා. ඒවා රූපවාහිනියෙන් දකින්න ඇති. මෙතන ඉන්න ගොඩක් අය කතෝලිකයෝ. මං හිතන්නේ එයාලා ජුදාස්ලා හැටියට. මෙච්චර වටිනා සාමය අපිට අරන්දීලා ධීවර ඇමතිවෙලා ඉදලා යුද්ධය අවසන් කරලා මේ රට මහා සංවර්ධනයකට ගෙනියන කොට අර මෛත්‍රීපාල කියන අපේ ලේකම්තුමත් අපේ ඇමතිතුමත් පාවා දුන්නා. එදා මෛත්‍රීපාල ඇමතිතුමා එකට ආප්ප කාලා, අපේ ඇමතිතුමා මාත් එක්ක එකට පොල්තෙල් පහන දල්වලා ගිහින් ටිකක් වෙලා යනකොට අපිව පාවලා දුන්නා. පාවලා දීලා ප්‍රකාශ කළේ එල්.ටී.ටී.ඊ.යත් එක්ක, මීනිමරපු ජේ.වී.පී.යත් එක්ක කොහේවත් නැති වික්‍රමබාහුලා වැනි විකාර කියවන අය එක්ක එකතු වෙලා මේ රට නැවත ඛෙදුම්වාදී යුගයකට ගෙන යන්නට කටයුතු කරමින් තියෙනවා.

    එදා රනිල් වික්‍රමසිංහ මහත්තයා අපිට හිරබත් කන්න සිද්ධ කළා. අපේ තිබුණු සංවර්ධනය ආපස්සට හැරෙව්වා. සමෘද්ධිය කැපුවා. රැකියාවක් දෙන්නට හැකිවූයේ නෑ. මහජන දේපොළ, ආයතන පෞද්ගලීකරණය කරමින් රට විනාශ කළා. එවැනි රට සංවර්ධනය නොකරපු නායකයෙක්ව අගමැති කරන්න අපේ ලේකම්තුමාලා, අමාත්‍යතුමාලා ගිහිල්ලා කණ්ඩායමක් හැටියට සන්ධානයක් පිහිටුවලා රටට හතුරුකම් කරනවා. මෙවැනි කුමන්ත්‍රණවලට මේ රටේ ජනතාව ඉඩ තියෙන්නේ නැති බව මුළු රට ම තීරණය කර අවසන්. අය-වැය ඡන්දය පරද්දනවා කියමින් ලොකු උද්ඝෝෂණයක් මාධ්‍ය තුළ පෙන්නුවා. නමුත් අපෙන් එක ඡන්දයක්වත් ඔවුන්ට ගන්නට හැකිවූයේ නෑ. අය-වැය ඡන්දය විශිෂ්ට ජයග්‍රහණයක් ලබලා පෙන්නලා අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිතුමා සමඟ ඉන්න බව මුළු රටටම පෙන්නුවා.

    ඒ නිසා මං ආදරයෙන් ඉල්ලා සිටිනවා මේ වගේ නායකයෙක් ආයෙත් එන්නේ නැහැ. මේ නායකයා නිසයි අද මේ රට දියුණු රාජ්‍යයක් බවට පත් වෙලා තියෙන්නේ. අනාගතේ අපේ දරුවන් සඳහා මේ රට විශ්වාසනීය වගේම සංවර්ධිත රටක් ලෙස භාරදීමට කටයුතු කරමින් සිටින මොහොතේ එළැඹී ඇති ජනාධිපතිවරණයේදී නැවත වරක් මේ වීරෝධාර නායකයා මේ රටේ ජනාධිපතිවරයා බවට පත්කිරීමට පෙරමුණ ගත යුතු බව ඉල්ලා සිටින බව" ද අමාත්‍යවරයා සඳහන් කළේය. 

    මෙම අවස්ථාවට ධීවර අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු සහ අනුබද්ධිත ආයතන නිලධාරීහු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. 

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya