නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා පරාජය කිරීමට අවශ්‍ය රටේ ජනතාවට නො වේ

    දෙසැම්බර් 01, 2014
    අතිගරු ජනාධිපතිතුමා පරාජය කරන්නට අවශ්‍ය අපේ රටේ ජනතාවට නොවන බවත් ඔවුන් එතුමාට ජනතාවාදී නායකයෙක් විදියට හදවතින් ම ආදරය කරන බවත් එතුමා පරාජය කරන්නට ඇත්තටම අවශ්‍ය වෙලා තිබෙන්නේ ඇමෙරිකාව ප‍්‍රමුඛ යුරෝපා රටවලට යැයි උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය. 
     
    අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ පසුගිය දා හඟුරන්කෙත සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවති සමෘද්ධි ගුරු පත්වීම්ලාභීන්ගේ විශේෂ රැස්වීමක් අමතමිනි.
     
    "රටවල්වලට ඕනේ විදියට, ඔවුන්ගේ පදයට නටන රනිල් වගේ නායකයෙක් තමයි ඔවුනට අවශ්‍ය. රනිල් එහෙම පත්කර ගන්නට ඔවුන් සිදුකරන කුමන්ත‍්‍රණය විශ්ලේෂණය කළොත් එය සැඟවුණු ක‍්‍රියාවලියක් හරහා වෙන්නක් බව හඳුනා ගන්නට පුළුවන්. ඒ අනුව රනිල් ගේන්න බිලි බෝයි චරිතයට යොදා ගන්නේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාව. ප‍්‍රධාන මෙහෙයුම්කරුවා ලෙස යොදා ගන්නේ චන්ද්‍රිකා මැතිණියව. මේ කුමන්ත‍්‍රණවලට රැවටී අපේ රටත් ලිබියාව, ඉරාකය වගේ අඩියෙන් අඩිය මිනී මැරෙන අමු සොහොන් බවට පත් කරන්නට බුද්ධිමත් ජනතාවක් වශයෙන් ඔබ ඉඩ දෙන්නට එපා".
     
    "මහින්ද රාජපක්ෂ මැතිතුමා යුධ අධිකරණයට රැගෙන ගොස් දඬුවම් දීමට බටහිරින් දරන තැත පූර්ණය කිරීමට ලංකාවේ දේශපාලන නායකයන් බිලි දීමට අපේ රටේ ඉන්න ඔවුන්ගේ ඇතැම් හෙංචයියන් ක‍්‍රියාත්මක වෙනවා. මේක අපි නිවැරදිව හඳුනාගැනීම අතිශය වැදගත්. අද පැමිණ තිබෙන්නේ ආසියානු සමය යි. 19 වන සියවසේ ලෝකය බි‍්‍රතාන්‍ය ආධිපත්‍ය තිබුණු යුගය යි. 20 වන සියවස ඇමෙරිකාවේ යුගය යි. නමුත් 21වැනි සියවස ආසියාවේ සියවස බව දැන් දැන් පෙනී යනවා. ලෝකයේ ලොකු ම ආර්ථිකය හිමිකර ගන්නේ මෙවර චීනය යි. ඇමෙරිකානු ආධිපත්‍ය ඒ අනුව ගිලිහී යනවා. දැන් ආසියාවේ වියට්නාමය, ඉන්දියාව, චීනය, මැලේසියාව, ශ‍්‍රී ලංකාව ඉතා වේගයෙන් දියුණු වෙනවා. කලාප බලවතුන් ලෙස ඉහළට නඟින චීනය, ඉන්දියාව කඩන්නට මේ බටහිර කුමන්ත‍්‍රණ පුදුම විදියට ක‍්‍රියාත්මක වෙන්නේ. ඉන්දියාවේ තමිල්නාඩුව, ආන්ද්‍රා, කර්ණාටක වගේ දකුණු ඉන්දියානු කොටස් කැබලිවලට කඩන්නට ඉතා ම පහසු වෙනවා ලංකාවේ උතුර මුලින් ම කඩාගෙන තිබීම. මේ වැනි ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ තමයි බොහොම මිත‍්‍රශීලී වෙස් මුහුණු දාගෙන එන්නේ. එදා හොංකොං පාවිච්චි කරලා ‘අරාබි වසන්තය’ ගෙනාවා වගේ ලංකාව පාවිච්චි කරලා ඉන්දියාව, චීනය කඩන්න හදනවා. කෙසේ වෙතත් ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදී අගමැතිකම ගැනීමෙන් පසුව බටහිරට අවශ්‍ය විදියට නටන්නට ඔහු අවස්ථාව දෙන්නේ නැහැ".
     
    "එදා චන්ද්‍රිකා ජේ.වී.පී. එක රැවැට්ටුවේ දින 100කින් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා කියලා අත්සන් කරලා ලිපියක් ලබාදීලයි. ඒ සෙල්ලම ම අදත් කරන්නට තමයි එතුමිය හැදුවේ. නමුත් එක්සත් ජාතික පක්ෂය ඒ පිළිබඳ ව දැනුවත්වෙලා සිටීම නිසා ඒ උත්සාහය වැරදුණා. ඒ නිසා පැය 24ක් ඇතුළත ජනාධිපතික‍්‍රමය අහෝසි කරන්නට ඔවුන්ට සිදු වෙලා. ඒක එහෙම වුණත් මොන ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා ද කැමති තමන්ගේ ඡන්දයෙන් එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික‍්‍රමසිංහ රටේ විධායක අගමැති බවට පත් කරන්නට. අනෙක් පැත්තෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙන්නෙක් තුන්දෙනෙක් විපක්ෂයට ආපු පලියට පක්ෂයේ පාට, ලාංඡනය නැති ව තමන්ගේ අපේක්ෂකයා ඉදිරිපත් කරන්නට එක්සත් ජාතික පාක්ෂිකයන් කැමති නැහැ. මේ සෙල්ලමෙන් වෙන්නේ එක් පක්ෂයකවත් ඡන්ද මෛත‍්‍රීට නොලැබී යාම".
     
    "උතුරු නැගෙනහිර මුස්ලිම්, දෙමළ ඡන්දවලින් මෛත‍්‍රී දිනවන්න උත්සාහයක් තිබෙනවා. නමුත් මේ එක ද්‍රවිඩ, මුස්ලිම් ඡන්ද දායකයෙක් කැමති නැහැ තමන් නිදහසේ කරගෙන යන ව්‍යාපාර කටයුතු අඩාල කරගන්නට. අඩියෙන් අඩිය බෝම්බ පිපිරෙනවාට. වෙඩි හඬ තත්පරයෙන් තත්පරය ඇසෙනවාට මුස්ලිම් ජනතාව හෝ ද්‍රවිඩ ජනතාව කැමති නැහැ. ගමේ එක්සත් ජාතික පාක්ෂිකයා ද කැමති නැහැ" යනුවෙන් ද පැවසී ය. 
     
    මෙම අවස්ථාව සඳහා හඟුරන්කෙත ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක නාරද දිසානායක, ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු ඇතුළු පිරිසක් ද සහභාගී වූහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya