නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල දිස්ත්‍රික් ළමා ආරක්ෂක කමිටුවෙන් ළමයින්ගේ ආරක්ෂාවට තීරණ රැසක්

    නොවැම්බර් 30, 2014
    ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කුරුණෑගල දිස්ත්‍රික් ළමා ආරක්ෂක කමිටුව පසුගියදා කුරුණෑගල අතිරේක දිස්ත්‍රික් ලේකම් වරුණ සමරදිවාකර මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
     
    එහි දී ළමුන්ගේ ආරක්ෂාවට වැදගත් තීරණ රැසකට එළැඹීමට සමත් විය.
     
     
    කුරුණෑගල නගරය මෙන් ම මහව, ගල්ගමුව, නිකවැරටිය, කුලියාපිටිය වැනි උප නගරවලද උපකාරක පංති සඳහා පැමිණෙන පාසල් සිසුන් නගරයේ සහ අවට විශේෂයෙන් වැව රවුම ආශ්‍රිත ව අශෝභන ලෙස හැසිරෙන බව එහි දී සාකච්ඡා කෙරුණි. විශේෂයෙන් එම සිසුන් අවට ඇති ලැගුම්හල්වලට ද ගොස් විවිධ අපයෝජනයන්ට ගොදුරු වන බවත් මෙම තත්ත්වයෙන් ළමුන් බේරා ගැනීම සඳහා ක්‍රියාමාර්ගගත යුතු බවත් එහිදී සාකච්ඡාවට ලක් විය.
     
     
    උපකාරක පංතිවල දී අසභ්‍ය වීඩියෝ දර්ශන ද ජංගම දුරකතන මාර්ගයෙන් සිසුන් අතර සංසරණය වීමේ ප්‍රවණතාවක් ඇති බවත් ඒවා නැවැත්වීම දෙමාපියන් විසින් ම කළ යුතු බවටත් මෙහි දී සාකච්ඡා කෙරුණි.
     
     
    පාසල් නොයන ළමුන් පිළිබඳ ව තොරතුරු එකතු කිරීමේ වැඩසටහන ළමා ආරක්ෂක නිලධාරීන් හරහා සිදු කෙරෙමින් පවතින බවත් ඒ අතරතුර විශේෂ අවශ්‍යතා ඇති ළමුන් පිළිබඳව ද තොරතුරු එකතු කිරීමට එහි දී තීරණය විය‍.
     
     
    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මඟින් ක්‍රියාත්මක වන පාසල් ළමා ආරක්ෂක කමිටු සෑම පාසලක ම ක්‍රියාත්මක කිරීමටත් කිසිවෙකුට හෙළි නොකළ හැකි ළමුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට දැනට පාසල් කිහිපයක සවි කර ඇති සිනහ කඳුළු පෙට්ටි විවෘත කර පැමිණිලි තිබේ දැයි පරීක්ෂා කිරීම ළමා ආරක්ෂක නිලධාරීන් මඟින් සිදු කිරීමටත් ප්‍රශ්න ඇත්නම් ඒවා විසඳීමට මැදිහත් වීමටත් තීරණය විය.
     
     
    ළමුන් සම්බන්ධව ගැටලුවලදී කිසියම් නිවසක් පිළිබඳ ගැටලුවක් නම් සමෘද්ධි අංශය හරහා ද ආර්ථික කරුණක් නම් කැපකරු මා-පිය සමාජ සේවා අංශය ආදී අංශ හරහා ද ප්‍රාදේශීය ලේකම් සමඟ සාකච්ඡා කර විසඳිය හැකි බව මෙම අවස්ථාවට එක් වූ කුරුණෑගල අතිරේක ලේකම් වරුණ සමරදිවාකර මහතා ප්‍රකාශ කළේය.
     
     
    පාසල් පද්ධතිය තුළ විවිධ වර්ගයේ අපයෝජන සිද්ධීන් වැඩි වී ඇති බව මෙම කමිටුවේ දී හෙළි වූ අතර මේ සඳහා ළමා ආරක්ෂාව සම්බන්ධ සියලු නිලධාරීන්ගේ අවධානය වැඩි වශයෙන් යොමු කිරීමටත් කුරුණෑගල නගරයේ ළමුන් යාචක සේවයේ යෙදවීම අවම කිරීමට අදාළ ආයතන මැදිහත් කර ගැනීමටත් කමිටුව මඟින් තීරණය කරන ලදී.
     
     
    කුරුණෑගල දිස්ත්‍රික්කයේ ළමා ආරක්ෂක නිලධාරීන්, මුල්විය සංවර්ධන නිලධාරීන්, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්, පරිවාස දෙපාර්තමේන්තු, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, කම්කරු දෙපාර්තමේන්තුව, සමාජ සේවා දෙපාර්තමේන්තුව, පොලිස් ළමා කාන්තා නිලධාරීන්, රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු ළමා ආරක්ෂාව පිළිබඳ දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරීහු මෙම අවස්ථාවට එක් වූහ‍.
     
    SDF/AK_dmu_kurunegala

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya