එහිදී බලශක්ති කාර්යක්ෂමතාව සහ ඵලදායී ලෙස බලශක්තිය උපයෝගී කර ගැනීම වෙනුවෙන් පිරිනමන ලද රන් හා රිදී සම්මාන පිරිනැමීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මහතා සිය දේශනය පවත්වමින් කියා සිටියේ රටක අභිවෘද්ධිය සඳහා ශක්තිමත් නිවැරදි පාලකයෙක් අවශ්‍යව තිබුණද එක්සත් ජාතික පක්ෂය ඒ සඳහා නිවැරදි නොවන අපේක්ෂකයෙකු පත් කර ගැනීම තුළින් ම එම පක්ෂයේ පිරිහීම මනාව පැහැදිලි වන බවය.
ඉදිරි ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට සිය පාර්ශ්වයේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබියදී ඒ සඳහා වෙනත් අයෙක් පොදු අපේක්ෂකයා වශයෙන් නම් කර ඉදිරිපත් කිරීම තුළින් එම පක්ෂයේ පිරිහීම පැහැදිලිව අවබෝධ කර ගත හැකිවන බව ද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.
තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,
“රටක අභිවෘද්ධිය මෙන්ම නිවැරදි ඉදිරි ගමනක් සඳහා නිවැරදි පාලකයෙක් අවශ්‍යයි. මෑත ඉතිහාසයේ ඒ සඳහා සුදුසු එකම පාලකයා වශයෙන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හැඳින්විය හැකිය. අඩුම තරමින් විපක්ෂයේවත් ඒ සඳහා හැකියාවක් තිබෙන නායකයෙක් නැහැ. අතීතයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තරග වැදීම සඳහා ප්‍රබල විපක්ෂයක් තිබුණා. නමුත් අද එක්සත් ජාතික පක්ෂය පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කරන පුද්ගලයාගෙන්ම විපක්ෂයේ තරම අවබෝධ කර ගත හැකියි.
සංවර්ධනය වෙමින් පවත්නා රටක් වශයෙන් ශ්‍රී ලංකාව ලෝක තර්ජනයන්ට මුහුණදීම සඳහා හැකි පමණින් ශක්තිමත් විය යුතුයි. ශ්‍රී ලංකාව දෙකඩ කළයුතු බවට මෑතකදී බොහෝ රටවල් තීරණය කර තිබෙනවා. ඉරාකය, ලිබියාව, සිරියාව, ඊජිප්තුව වැනි රටවල නායකයන් ඝාතනය කොට එම රටවල් අරාජික කිරීමට බටහිර බලවතුන් කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා එම තනතුරින් පහකොට රට අරාජික කිරීමට ඇතැම් බලවතුන් කටයුතු කරන බව අප යළිත් අවධාරණය කළ යුතුයි.
යුරෝපා සංගමය මගින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට යළි නීත්‍යනුකූලභාවය ලබාදීම තුළින් එල්.ටී.ටී.ඊ.ය කලාපීය වශයෙන් ශක්තිමත් වේවි. දමිළ ඊලමක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කර එහි නායකයා පවා තීරණය කිරීමට දෙමළ ඩයස්පෝරාව කටයුතු කර තිබෙනවා. රටක දුර්වල නායකයෙක් පාලනය කරන විට විජාතික බලවතුන්ට එරට පාලනය උදුරා ගැනීමේ හැකියාවක් තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ පරිපාලනය ඒ අයුරින් කිසිදු බලවේගයකට ලබාදිය යුතු නැහැ.
වාල්මිකීගේ රාමායනයට අනුව ශ්‍රී ලංකාවට වසර හාරදහසකට වඩා පැරණි ඉතිහාසයක් පවතී. දියුණු ඉතිහාසයක් මෙන් ම, දියුණු තාක්ෂණයකින් යුතු උරුමයක් අප සතුයි. මෙරට ආදී තාක්ෂණයේ සත්‍යභාවය අද විද්‍යාඥයන් පවා පිළිගනු ලබනවා. එවැනි ඉතිහාසයකින් යුතු ජාතියක් වශයෙන් අප විජාතික බලවේගයන් හමුවේ දණ නොනැමිය යුතුයි.
ශ්‍රී ලංකාවේ දක්ෂ විද්වතුන්, විද්‍යාඥයන් සිටියත් ඔවුන් බොහෝ පිරිසක් අද වන විට ඇමරිකාව, රුසියාව, ඕස්ට්‍රේලියාව වැනි දියුණු රටවල සේවය කරනවා. විදෙස් රටවල සේවය කරන උගතුන් යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ වන විට තීරණය කොට හමාරයි. ඒ සඳහා සුදුසු කමිටුවක් ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පත්කර තිබෙනවා.
ජපානය, චීනය වැනි රටවල් මේ අයුරින් දියුණු තත්ත්වයට පත් වූයේ එම රටවල ශිල්පීන් සඳහා සුදුසු ස්ථාන ලබාදුන් නිසයි. අකුරු ලිවීමට, කියවීමට නොදත් වුවද, කර්මාන්ත ක්ෂේත්රයෙන් දස්කම් දක්වන ශිල්පීන් තවදුරටත් ශක්තිමත් කිරීම තුළින් එම රටවල් දියුණු වුණා. ඒ නිසාම ආසියාවේ බලවතුන් බවට පත්වීමට චීනය, ජපානය වැනි රටවලට හැකියාව ලැබුණා.
ශ්‍රී ලංකාවේ ද නව නිපැයුම් දැක්වූ නිර්මාණකරුවන් රැසක් සිටිනවා. ඔවුන්ගේ නිසි දායකත්වය රටට ලබා නොගැනීම කනගාටුදායකයි. ඒ නිසා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ තීරණයට අනුව මෙරට නිර්මාණකරුවන් සඳහා සුදුසු අවස්ථාව ලබාදීම සඳහා පෙළගැසිය යුතුයි“ යැයි පැවසීය.
මෙහිදී බලශක්ති කාර්යක්ෂමතාව උදෙසා නිෂ්පාදන අංශයේ මහා පරිමාණ රන් සම්මානය වතුපිටිවල පිහිටි බ්‍රැන්ඩෙක්ස් පුද්ගලික සමාගම, තාක්ෂණික සේවා රන් සම්මානය promet පුද්ගලික ආයතනයට ද, බලශක්ති වැඩිදියුණු කිරීමේ අංශයේ රන් සම්මානය එනර්ජිසොෆ්ට් පුද්ගලික ආයතනයට ද, මහා පරිමාණ වාණිජ ගොඩනැගිලි අංශයේ රන් සම්මානය ඕවර්සීස් රියැලිටි පුද්ගලික සමාගමට ද පිරිනැමිණ.
SDF