අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපක්ෂයට පොදු අපේක්ෂකයෙකු සෙවීම පිදුරු ගොඩේ ඉඳිකටුව හොයනවා වගේ

    අගෝස්තු 08, 2014
    රටේ සංවර්ධනය වෙනුවෙන් රජය ගෙනයන වැඩපිළිවෙළ කිසිදු හේතුවක් නිසාවත් නවතා නොදමන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගියදා වැලිගම, කෝවිලකන්ද පුරාණ විහාරස්ථානයේ පැවති පලතුරු පැළ බෙදාදීමේ වැඩසටහනට සහභාගී වෙමින් පැවසීය.


    කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන ගොවි සතිය හා කෘෂිකාර්මික ප‍්‍රදර්ශනයට සමගාමීව "රන් අස්වනු පූදින නිල්වලා අරුණෝදය" වැඩසටහන යටතේ මාතර දිස්ත‍්‍රික්යේ සෑම ගෘහ ඒකකයක් සඳහාම පලතුරු පැළ බෙදාදීමේ වැඩසටහන ක‍්‍රියාත්මක වේ.

     

    මෙම අවස්ථාවට සහභාගී වෙමින් කෘෂිකර්ම අමාත්‍යතුමා සඳහන් කළේ රජය ජනතා සුබසිද්ධිය වෙනුවෙන් දියත් කරන වැඩසටහන්වලින් ජනතාව උපරිම ඵල නෙළා ගත යුතු බවයි. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මාතර දිස්ත‍්‍රික්කය ඉලක්ක කරගත් සංවර්ධන වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දී තිබේ. ලබන වසරේ දැයට කිරුළ ප‍්‍රදර්ශනය පැවැත්වීමට මාතර දිස්ත‍්‍රික්කය තෝරාගෙන ඇති අතර ඊට සමගාමීව දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති දිස්ත‍්‍රික්කය තුළ ක‍්‍රියාත්මක කිරීමට නියමිත බව පැවසීය.

     

    මෙම වසරේ සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත ගොවි සතිය හා කෘෂිකාර්මික ප‍්‍රදර්ශනය තුළින් ද මාතර දිස්ත‍්‍රික්කයේ විශේෂ වැඩසටහන් ක‍්‍රියාවට නැංවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර ඇත. වත්මන් රජය වෙනත් කිසිදු රජයකට ඉටු කළ නොහැකි මෙහෙවරක් කෘෂිකර්මාන්තය වෙනුවෙන් සිදු කළේය. දේශීය ආහාර නිෂ්පාදන ඉහළ නංවමින් පිටරටින් ආහාර ආනයනය කිරීම සීමා කළේය. ගොවියාට ගොවිතැන් කටයුතුවල නිරතවීමේ පහසුකම් සලසා දෙමින් දේශීය කෘෂිකර්මාන්තය දියුණු කළේය. මේ අයුරින් කෘෂි ක්ෂේත‍්‍රය තුළ සිදුවන සංවර්ධනය විරුද්ධ පාක්ෂිකයන්ට දරාගත නොහැකි තැන ඔවුන් රජයට අභූත චෝදනා එල්ල කරයි. පල ඇති රුකට ගල් ගසන බව සනාථ කරමින් විපක්ෂය රජයේ වැඩපිළිවෙළ විවේචනය කරයි. නමුත් ගොවිතැන වෙනුවෙන් රජය ලබා දුන් දායකත්වය ඉදිරියටත් තමන් වෙත ලැබෙන බව ගොවීහු දැඩිව විශ්වාස කරති. කෘෂිකර්ම අමාත්‍යාංශය උත්සාහ කරන්නේ සියලුම ගොවි බිම්වල කුමන හෝ වගාවක් සිදු කිරීම සඳහා ගොවීන්ව උනන්දු කරවීමටයි. 

     

    සෑම ගෘහ ඒකකයකම කුමන හෝ පලතුරු පැළයක් සිටුවීමට ජනතාව යොමු කරවීම පලතුරු පැළ බෙදා දීමේ වැඩසටහනේ අරමුණයි. මේ සඳහා ජනතාවගේ පූර්ණ දායකත්වය අවශ්‍ය වේ. උත්සවාකාරයෙන් විශාල මුදලක් වියදම් කරමින් වැඩසටහන් ආරම්භ කළත් ඒ සඳහා ජනතා සහයෝගය නොමැති නම් එහි කිසිදු ප‍්‍රතිඵලයක් නැහැ. එම නිසා රජයේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සහයෝගය ලබා දීම ජනතාවගේ වගකීමකි. පසුගිය දිනවල පලතුරු සතිය සමරමින් පැවැත්වූ පලතුරු සැණකෙළිය තුළින්ද අප අපේක්ෂා කළේ ජනතාවගේ පලතුරු පරිභෝජනය ඉහළ නංවමින් පලතුරු වගාව ව්‍යාප්ත කිරීමයි. එහිදී පලතුරුවල වටිනාකම පිළිබඳව ජනතාව දැනුවත් කරමින් රට පුරා පලතුරු පරිභෝජනය සම්බන්ධයෙන් විශාල පිබිඳීමක් ඇති කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සමත් විය.

     

    වත්මන් රජයට මැතිවරණ ජයග‍්‍රහණ පිළිබඳව කිසිදු ගැටලුවක් නැත. මැතිවරණ ජයග‍්‍රහණ අපේක්ෂාවෙන් ජනතාවට විවිධ දේ බෙදා දීමට අවශ්‍යතාවක් නැත. විපක්ෂය මෙන් රජය මැතිවරණ භීතිකාවෙන් පෙළෙන්නේ නැත. විපක්ෂය බොහෝ කාලයක සිට පිදුරු ගොඩේ ඉඳිකටුව සොයන්නාක් මෙන් පොදු අපේක්ෂකයා සෙවීමට වෙහෙසෙයි. ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටු කරන රජයක් වශයෙන් මැතිවරණ ජයග‍්‍රහණ පිළිබඳව කිසිදු සැකයක් අප තුළ නොපවතී. 

     

    රටේ පැවති යුද්ධය අවසාන නිසා දැන් ලේ වැගිරීම් ද අවසන්ය. දැන් කාලය එළැඹ තිබෙන්නේ දහඩිය වගුරා රට දියුණු කිරීමටයි. ඒ බව සිහි තබාගෙන රටේ බුද්ධිමත් ජනතාව, රජය සමඟ එක්ව රටේ දියුණුව වෙනුවෙන් කැපවිය යුතු බව මෙහිදී මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya