මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශපාලන හා නීතිඥ වෘත්තීන් හෑල්ලුවට ලක්වෙලා

    අගෝස්තු 02, 2014
    පසුගිය කාලයේ ලෝකය පුරා දේශපාලන වෘත්තියත්, නීතිඥ වෘත්තියත්, අභියෝගයට, හාස්‍යයට ලක්වෙලා තිබෙන බවත් මෙසේ වූයේ මේ වෘත්තීන්වලට පිවිසි අතළොස්සක් වෘත්තීය ගෞරවය හෑල්ලුවට ලක් කළ නිසා බවත් යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මාතර දී ප‍්‍රකාශ කළේය.
     
    ඊයේ (01) මාතර නීතිඥ සංගමයේ නව කාර්යාල සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව පැවැති උත්සවයේදී අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය. මෙම කාර්යාල සංකීර්ණය කාමර 31කින් සමන්විත වන අතර, ඒ සඳහා නීතිඥ සංගමය රුපියල් මිලියන 22ක මුදලක් වැය කර තිබේ. 
     
    "මෙම පරමාදර්ශී ව්‍යාපෘතිය විවෘත කරන අවස්ථාවේ එහි ප‍්‍රධාන ආරාධිතයා ලෙස මා කැඳවාගන්නට ක‍්‍රියා කළ ඔබට පළමුව ස්තූතිය පුද කරනවා. මේ පරමාදර්ශී ව්‍යාපෘතිය වෙනුවෙන් කැප වූ එම අභියෝගය ජයගැනීමට ක‍්‍රියා කළ සැමදෙනාටම රජයේත් මාගේත් ගෞරවය පුද කරනවා. මේ ව්‍යාපෘතියේදී බොහෝ බාධක ජයගන්න රජයේ මැදිහත්වීම අවශ්‍ය වුණා. ඒ සියලු බාධක ජයගැනීම වෙනුවෙන් ඍජුව පෙනී සිටි මාතර මහ නගරාධිපතිතුමා ප‍්‍රමුඛ නගර සභාව, මාතර මහා දිසාපති තුමිය ප‍්‍රමුඛ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය, මාතර ප‍්‍රාදේශීය ලේකම්තුමා ප‍්‍රමුඛ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ අධිකාරිය, මාතර අධිකරණ නීතිඥ සංගමය අපගේ  ඇගයීමට හා ගෞරවයට පාත‍්‍රවිය යුතුයි". 
     
    "මේ කාර්යාල සංකීර්ණය ශ‍්‍රී ලංකාවේ නීතිඥ වෘත්තියට ලැබුණු විශිෂ්ට තිළිණයක්. එහි පරිසරය මෙන්ම නිමාව අතිවිශිෂ්ට මට්ටමක තිබෙනවා. ඒ නිසාම නීතිඥ සංගමයේත් අපගේත් එකඟත්වය, විශිෂ්ට මාවතක් අපට පෙන්වා දී තිබෙනවා. මම එදා වෘත්තියෙන් මාධ්‍යවේදියෙක් වුණත්, අද වෘත්තියෙන් දේශපාලනඥයෙක්. ඔබ වෘත්තියෙන් නීතිඥයින්. ලෝකයේ නීතිඥ වෘත්තීය හා දේශපාලන වෘත්තීය ජනතාවට වඩාත් සමීපව කටයුතු කරනවා. ශතවර්ෂ ගණනාවක් තිස්සේ මේ බැඳීම ලෝකය පුරාම දැකගන්නට තිබෙනවා. ඒ බැඳීම ඇතිවුණේ ඇයිද? කියන කාරණය වෙනම විභාග කළ යුතුයි".
     
    ලෝකය ගොඩනැගුණේ දේශපාලන හා නීතිඥ වෘත්තීන් දෙක අතර තිබූ විශිෂ්ටත්වය, පරමාදර්ශීභාවය මෙන්ම වැදගත්කම නිසා වෙන්නට ඇතැයි විශ්වාස කරන බව කී අමාත්‍යවරයා අදත් ඔස්ටේ‍්‍රලියානු පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන්ගෙන් 60%ක් වෘත්තියෙන් නීතිඥයින් බවත් අපේ පාර්ලිමේන්තුවෙත් ඉහළ ප‍්‍රතිශතයක් නීතිඥයින් සිටින බවත් පැවසීය.
     
    නමුත් පසුගිය යුගයන්වලදී ලෝකය පුරාම මේ වෘත්තීන් දෙකම අභියෝගයට ලක්ව තිබෙන බවත් දේශපාලන වෘත්තීය අභියෝගයට මෙන්ම හාස්‍යයටත් ලක්ව තිබෙනවා මෙන් ම නීතිඥ වෘත්තියත් එසේ වී තිබෙන බවත් කීය. 
     
    මාතර නගරයේ පරිපාලනය නරගය, නුදුරින් ඇති භූමිය වෙත ගෙනියන්න අතිගරු ජනාධිපතිතුමා යෝජනා කළා. කොළඹ නගරය ජනාකීර්ණ වූ අවස්ථාවේ පරිපාලන කටයුතු බත්තරමුල්ලට ගෙන ගියා. මාතර වේගයෙන් සංවර්ධනය වන අවස්ථාවේදී නගරයේ පරිපාලන කටයුතු ඉඩකඩ සහිත, දර්ශනීය, භූමියක් වෙත ගෙන යාම සමාජ වටිනාකමක් සහිත යෝජනාවක්. ඒ අනුව මාතර මහා රෝහල තට්ටු 06ක ගොඩනැඟිල්ලකින් වැඩ ආරම්භ කර තිබෙනවා. මාතර වර්ග අඩි 68,000ක රාජ්‍ය ආයතන පවත්වාගෙන යන්නේ කුලී පදනම මත ලබාගත් ගොඩනැගිලිවලයි. ඒ නිසාම අලුතෙන් ඉදිකිරීමට සැලසුම් කරන ලද මාතර පරිපාලන සංකීර්ණයේ වැඩකටයුතු ලබන මාසයේ ආරම්භ කරනවා. මීටර් 400ක ධාවන පථයක්, මීටර් 50 පිහිනුම් තටාකයක්, ගෘහස්ථ ක‍්‍රීඩාගාරයක් සහිත දැවැන්ත ක‍්‍රීඩාංගණයක් මාතර ගොඩනගලා හමාරයි. ඉඩ පහසුකම් සහිතව අධිකරණ කිහිපයක් ස්ථාපිත කිරීම සඳහා වූ ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකරන්න අක්කර 12ක භූමියක් වෙන්කරගෙන තිබෙනවා. කඹුරුගමුව හන්දියේ සිට ගොඩගම දක්වා කිලෝමීටර් 7.5ක මංතීරු 04ක නූතන මහා මාර්ගයක් ලෙස ඉදිවෙනවා. නීතිඥ මහත්වරුන්ගේ කාර්යාල කටයුතුත් නවීන තාක්ෂණය වැළඳගත යුතුයි. අපේ පාර්ලිමේන්තුවෙත් ට්විටර් ගිණුමක් පවත්වන අය ඉන්නේ අතලොස්සයි. පාප් වහන්සේටත් ට්විටර් ගිණුමක් තිබෙනවා. 
     
    අගවිනිසුරුතුමා මාතර අධිකරණ කාර්යාල සංකීර්ණය පරිගණකගත කරන්න තීන්දු කිරීම ශ‍්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත‍්‍රයන් පරිගණකගත කිරීමේ ආරම්භක පියවර බවද අපේ වෘත්තීය ජිවිතයට තුළට මේ නූතන තාක්ෂණය ඇතුළත් කරගත යුතු යැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya