මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ නගරයේ පාසල්වල සෑම වරප්‍රසාදයක්ම උතුරේ දරුවන්ටත් ලබා දෙනවා

    ජූලි 28, 2014
    කොළඹ නගරයේ පාසල්වල තිබෙන සෑම වරප්‍රසාදයක්ම 2016 දෙසැම්බර් 31 වැනිදාට පෙර මහින්ද රාජපක්ෂ රජය යටතේ උතුරේ දරුවන්ටත් ලබාදීමේ ජාතික වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි. 
     
    මහින්දෝදය ද්විතීයක පාසල් දහසක් ප්‍රතිනිර්මාණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලය ද්විතීයක පාසලක් ලෙස සිසු අයිතියට පත් කිරීමේ උත්සවය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පැවති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 
     
    සියලු ජනවර්ග හා ආගම් අතර සමඟියෙන් ජීවත් විය යුතුයි යන සංකල්පය සමහර දේශපාලන නායකයන්ට වැටහෙන්නේ නැති වුවත් එය වඩා හොඳින් කිලිනොච්චියේ දුවලා පුතාලා තේරුම් ගෙන රටේ දේශපාලකයන්ට ආදර්ශයක් දී තිබෙන බව මෙම උත්සවයේ දී දරුවන් ඉදිරිපත් කළ සංස්කෘතික නර්තනය අගයමින් අමාත්‍යවරයා සඳහන් කළේය. 
     
    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළින් ලක්ෂ 40ක දරුවන් වෙනුවෙන් 5 ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වීම, විෂය නිර්දේශ සකස් කිරීම, ගුරු අත්පොත් සැකසීම, පෙළපොත් හා නිල ඇඳුම්  බෙදාදීම,  ගුරුවරුන් පුහුණු කිරීම සියලු දේ  රජය මඟින් සිදු කරන බව ද ඔහු පෙන්වා දුන්නේය.
     
    සිංහල, දෙමළ, මුස්ලිම් සෑම දරුවෙකුටම වටිනා මනුෂ්‍ය ජීවිතයක් තිබේ. එය ගොඩනැගීමේ කාර්යභාරය අධ්‍යාපන අමාත්‍යාංශයේ මගපෙන්වීම මත සිදු කළ යුතු බව පොදු පිළිගැනීමයි.  යුද්ධය නිමා කර ප්‍රජාතන්ත්‍රික අයිතිය උතුරේ ජනතාවට ලබාදෙමින් උතුරු පළාත් සභාව පිහිටුවීමෙන් පසු ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය උතුරේ ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමේ දෙදින වැඩමුළුවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පැවැත් වුණි. එහිදී උතුරේ අධ්‍යාපනික ගැටලු හා විසඳුම් වාර්තාවක් සකස් කළ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ නිදහස් අධ්‍යාපනයේ අයිතීන් වැඩි වැඩියෙන් ව්‍යාප්ත කළ යුතු බව රජයේ ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන තිබෙන බවයි.  
     
    උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා විසින් උතුරේ අධ්‍යාපන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වන වාර්තාව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත මෙහිදී පිළිගන්වන ලදී.
     
    මුරුගානන්ද විද්‍යාලය හා වරණි විදුහල යන පාසල් ද මහින්දෝදය ද්විතීයක පාසල් ලෙස සිසු අයිතියට පත්කිරීම ඊයේ සිදු කළේය. මෙම පාසල් තුනෙහි නව ගොඩනැගිලි ඉදිකිරීම, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම යනාදිය සඳහා රජය රුපියල් මිලියන 135ක් වැය කර තිබේ. 
     
    සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, යාපන දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඇම්. චන්ද්‍රකුමාර්, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද, උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සී. සත්‍යසීලන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.   
     
    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya