මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (27) දින කොළඹ බේරේ වැව ආශ‍්‍රිත ප‍්‍රදේශය වාණිජ කලාපයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා සැකසුණු සංවර්ධන සැලසුම එළි දැක්වීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
සිංගප්පූරු කෝපරේෂන් එන්ටර්ප‍්‍රයිසස්, තෙමාසසෙක් පදනම සහ ලයිව්බල් සිටීස් යන ආයතනයන් හි උපදේශකත්වයෙන් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ ද දායකත්වය ඇතිව සැකසුණු රන්මසු පුර සංවර්ධන සැලැස්ම, සැලසුම් 5 ක් යටතේ ක්‍රියාත්මක කෙරේ. එනම්, බේරේ වැව වටා ඇති සියලු ම ඉඩම් ඉහළ ඵලදායිතාවකට දියුණු කිරීම, බේරේ වැව අපවිත‍්‍රවන ආකාරයේ සියලු භාවිතයන් පාලනය කිරීම, ස්වභාවික පරිසරය ආරක්‍ෂා කර ගනිමින් යෝජිත සංවර්ධනය සැලසුම් කිරීම, දේශීය හා විදේශීය ජනතාවට බේරේ වැව වෙත ලඟාවීමට හැකිවන පරිදි වැව රක්ෂිතය විවෘත කර සංවර්ධනය කිරීම හා විනෝද කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් දියුණු කිරීම, විශේෂයෙන්ම දේශීය ජනතාව සඳහා තම ආදායම් මාර්ග වැඩිදියුණු කිරීමේ අවස්ථා වැඩිකිරීම හා ආර්ථික දියුණුව ඇති කිරීම සිදු කෙරේ. ඒ අනුව රන්මසු පුර ව්‍යාපෘතිය යටතේ හඳුනාගත් ප‍්‍රදේශයට විශේෂ කලාපීකරණ රෙගුලාසි සකස් කර ඇත.
කොළඹ වරාය, වරාය නගරය, විහාර මහා දේවී උද්‍යානය සහ ගාලු මුවදොර ආවරණය වන ආකාරයට සංවර්ධන කොරිඩෝ පහක් හඳුනාගෙන ඇති අතර ඒ හරහා බේරේ වැවත් නගරයේ අනකුත් ප‍්‍රදේශත් සංවර්ධනය කිරීමට අපේක්‍ෂා කෙරේ. මෙම විශේෂ සංවර්ධන කලාපය හෙක්ටයාර් 55 ක් පමණ බේරේ වැව ලෙස පවතී. එසේම හෙක්ටයාර් 30 ක පමණ රජයේ කාර්යාල පිහිටා ඇති අතර, හෙක්ටයාර් 27 ක් පමණ ශ‍්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් වේ. ඊට අමතරව හෙක්ටයාර් 26 ක් පමණ ගුදම් ලෙස පවතී. මින් වැඩි ප‍්‍රමාණයක් අයත් වනුයේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියටය. මෙහිදී විශේෂයෙන් දැකගත හැකි වනුයේ නේවාසික භාවිතයට හෙක්ටයාර් 24 ක් පමණ වෙන්වී ඇති අතර, විවෘත ප‍්‍රදේශ ලෙස හෙක්ටයාර්20 ක් පමණ වෙන් වී ඇති බවයි.
විවෘත ප‍්‍රදේශ සහ විනෝද කටයුතු සඳහා සැලකිය යුතු භූමි ප‍්‍රදේශයක් වෙන් කිරීමටත්, එම ප‍්‍රදේශය දිවා කාලය මෙන්ම රාත‍්‍රී කාලයේ දී ද සජීවීව තබා ගැනීම උදෙසා නේවාසික භාවිතය ද තෝරාගත් කළාප තුළ ප‍්‍රවර්ධනය කිරීමටත් මෙම සැලසුම තුළින් අපේක්‍ෂා කෙරේ.
එසේම මේ වන විටත් මෙම කළාපය තුළ හෙක්ටයාර් 19 ක් පමණ සංවර්ධන කටයුතු සඳහා නිදහස් කර ඇති අතර, ඒවායෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරමින් පවති. නැගෙනහිර බේරේ වැවෙහි බටහිර ඉවුරෙහි අනවසර නිවාස 500 ක් පමණ දැකගත හැකි අතර, ඉන් සැලකිය යුතු නිවාස සංඛ්‍යාවක් බේර් වැව තුළ ඉදිකර ඇත. උදාහරණ ලෙස 87 වත්ත සහ 175 වත්ත සැලකිය හැකිය. බේරේ වැව සංවර්ධන සැලසුම යටතේ 2016 වසරේ රුපියල් මිලියන 1350 ක් රජය විසින් ලබාදුන් අතර, එම මුදල වැය කොට ඉහත සඳහන් නිවාස 384 ක් පමණ නාගරික පුණර්ජීවන ව්‍යාපෘතිය යටතේ නිමකළ නිවාස ව්‍යාපෘතියක පදිංචි කරවීමට කටයුතු යොදා ඇත.
ප‍්‍රධාන ප‍්‍රවාහන මධ්‍යස්ථානය ඩී.ආර්. විජේවර්ධන මාවත අනෙක් පැත්තෙන් ඉදිකරන්න ඉදිරි කාලයේදී බලාපොරොත්තු වන බවත් එහි පළවෙනි පියවර සඳහා ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවීම කර තිබෙන බවත් පෙන්වාදෙන අමාත්‍යවරයා දෙවන පියවර ලෙස ලබන වසරේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් පෙන්වා දෙයි.
2023 වන විට සැහැල්ලු දුම්රිය පද්ධතියත්, දුම්රිය නවීකරණයත් මෙන් ම අධිවේගී මාර්ග පද්ධතියත් එකට යා කරන ප‍්‍රධාන ප‍්‍රවාහන මධ්‍යස්ථානය ඉදිවන බවත් කී අමාත්‍යවරයා බේරේ වැව වටේට වරාය නගරය යාවන ආකාරයට ප‍්‍රධාන ව්‍යාපාරික දිස්ත‍්‍රික්කය ගොඩනගන්න බලාපොරොත්තු වන අතර ම විශේෂයෙන්ම වරාය අධිකාරිය, සතොස ආදී රාජ්‍ය ආයතනවලට අයිති ඉඩම් සහ පෞද්ගලික අංශයට අයිති ඉඩම් විධිමත් සැලසුමකට අනුව ගොඩනැගීමට කටයුතු කරන බවත් පැවසීය.