මැයි 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වරාය නගරයේ පළමු අදියරේ 50% ක් අවසන් - ඇමති චම්පික රණවක

    ඔක්තෝබර් 26, 2017
    කොළඹ වරාය නගර ව්‍යාපෘතිය අප රටට ඉතාම වැදගත් බවත්, මෙය ආරම්භයේදී නිෂ්චිත අරමුණක් නොමැතිව විවිධ දේ සඳහා යොදා ගැනීමට සැලසුම්කර තිබුණ ද නව රජය මගින් පැහැදිලි අරමුණක් ඇති ව මූල්‍ය නගරයක් ලෙස එක කොටසක් නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති අතර හෙක්ටයාර 269 ක් වන සම්පූර්ණ භූමියෙන් 50%ක ප්‍රමාණයක් බිම සකසා සංවර්ධනය කර තිබෙන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
     
    මෙම භුමිය 2018 වසරේ දී පළමු අදියරේ සංවර්ධන කලාපය නම්කර රජයේ විධිවිධානවලට යටත්ව තරගකාරී පදනමෙන් වෙන්දේසි කිරීමට කටයුතු යොදන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
     
    ඉන්දියානු සාගරයේ කලාපීය වාණිජ මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාත සහ කොළඹ නගරය සංවර්ධනය කිරීම, වරාය නගරයේ ප්‍රධාන අරමුණ බව ඇමති චම්පික රණවක පවසයි. අනාගත ලෝකය දෙස බැලීමේදී රටවල්වලට වඩා නගර වැදගත් වන බවත්, නගර කේන්ද්‍ර කර ගනිමින් වාණිජ්‍ය හැසිරෙන අතර මෙරට කොළඹ නගරය සහ ඒ අවට ප්‍රදේශය තුළ එම කටයුතු සිදුවන බවද පැවසීය. 
     
    පළමුවැනි ලෝක සංග්‍රාමයෙන් පසු ස්විස්ටර්ලන්තය ප්‍රථම මූල්‍ය නගරය ලෙස ලෝකයේ නැගී සිටි අතර, ලෝකයේ එවැනි නගර සහ රටවල් සියයට අධික ප්‍රමාණයක් පසුගිය දශක 6, 7 කාලය තුළ ඉහළට ඒමට උත්සාහ දරා තිබේ. එනමුත් ඒවයින් අතලොස්සක් පමණ සාර්ථකත්වය ලබා තිබෙන අතර ඩුබායි, හොංකොං, සිංගප්පූරුව වැනි රටවල් බලවත්ව නැගී සිටියා සේම බලවත්ව තිබූ අයර්ලන්තය වැනි රටවල් කඩාවැටීමකටද ලක්විය. බලවත් වූ සහ අසාර්ථක වූ අයගෙන් අත්දැකීම් ලබාගෙන මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම අරමුණ බවද හෙතෙම පැවසීය.
     
    "කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයත්, බස්නාහිර පර්යන්තයක් ඉදිරියේදී ගොඩනැගෙන අතර ඒ සමග කොළඹ වරායේ ක්‍රියාකාරීත්වය කිහිප ගුණයකින් ඉහළ යාමට නියමිතයි. එසේම වරාය නගරයට පහලින් මැරීනා කලාපය මගින් සංචාරක ව්‍යපාරය දිරි ගන්වන නාවුක කේන්ද්‍රයක් ඉදිකිරීමටත් බලාපොරොත්තුවන බවත්, කොල්ලුපිටියෙන් පහළට දෙහිවල දක්වා මුහුදු තීරයත් ඊට සමාන්තරව සංවර්ධනය කිරීමට මහානගර හා බස්නාහිර අමාත්‍යාංශය කටයුතු කරනවා".
     
    "ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගය ඇතිව කැලණි නව පාලමේ සිට වරාය දෙසට ගුවන් මගින් දිවෙන මහමාර්ගයක් ඉදිකෙරේ. එම මාර්ගය වරාය නගරයේ සිට භූගත මාර්ගයක් මගින් කොල්ලුපිටිය දුම්රිය ස්ථානය දක්වා සහ මැරයින් ඩ්‍රයිව් එක දක්වා ගෙන යාමට නියමිතයි. කොල්ලුපිටිය දුම්රිය ස්ථානය, කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය, කොටුව දුම්රිය ස්ථානය අතරත් කඩුවෙල දක්වා දිවෙන සැහැල්ලු දුම්රිය සේවාවක් ජයිකා ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත. එමගින් පාර්ලිමේන්තු පාරේ තිබෙන තදබදයත්, වරාය නගරයත්, අධිවේගී මාර්ග පද්ධතියත් සම්බන්ධ වේ. ලංකාවේ ප්‍රධාන බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ පළමු පියවර චාමර්ස් ගැලරි ඉඩමේ‘Colombo Gate’ලෙස ඉදිකිරී ම්කටයුතු ආරම්භ කිරීමටත්, එමගින් බස්රථ, දුම්රිය, පෞද්ගලික රථ වාහන සම්බන්ධවීමට නියමිතයි. එවැනිම ප්‍රවාහන මධ්‍යස්ථානයක් බත්තරමුල්ලේද ඉදිකිරීමට නියමිතය".
     
     "කසළ කළමනාකරණය, ජලය සහ විදුලිය සැපයීම වැනි යටිතල පහසුකම් නගාසිටුවීම පැත්තෙනුත් රජය හා චීන සමාගම අතර ඒකාබද්ධ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු කරන අතර පියවරෙන් පියවර ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිතය. ඒ අනුව වරාය නගරයේ ජල අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම වෙනුවෙන් වාරිමාර්ග අමාත්‍යාංශය සහ ජල සම්පත් අමාත්‍යාංශය සමග එකතුව වී ඔය සහ යටිමහන ලෙස ජලාශ දෙකක් ඇති කරන අතර 2040 දක්වා විටින් විට අවශ්‍ය වන විදුලි ඉල්ලුම කළමනාකරණය සඳහා මෙගාවොට් 300 ක ස්වභාවික ද්‍රව වායු බලාගාරයක් වරාය නගරය තුළම ස්ථාපනයට ද අදහස් කර ඇත. වරාය නගරය ශ්‍රී ලංකාවට අයත් වෙනම පරිපාලන නගරයක් ලෙස පවත්වාගෙන යාමට ද පියවර ගනු ලබයි".
     
    සියළු පොදු ජනතාවට විවෘත විහාර මහාදේවී උද්‍යානය වැනි දහගුණයක් විශාල, හෙක්ටයාර් 90 ක මහජන උද්‍යානයක් වරාය නගරයේ ඉදි කෙරේ. එමගින් එම ඉඩම් සඳහා නව වටිනාකමක් ලබාදීමට බලාපොරොත්තුවන බවත් අමාත්‍ය චම්පික රණවක මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya