අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඕනෑ එකටත්, එපා එකටත් ගණිතයට සම්මාන තියෙනවද? කියලා අහන රටක්

    ජූලි 07, 2014
    ඕනෑ එකටත්, එපා එකටත් දරුවන්ගේ ගණිතයට සම්මාන තියෙනවද? කියලා අහන රටක අප ජීවත්වුවත් ඡන්දය ඉල්ලන්න සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට එන කාගෙන්වත් ගණිතය පාස්ද කියලා අහන්නේ නැති බවත් ඔවුන් ඡන්දෙන් දිනලා රට වෙනුවෙන් තීන්දු තීරණත් ගන්නා බවත් යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.


    ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ කෑගල්ල දිස්ත‍්‍රික් මධ්‍යස්ථාන ගොඩනැගිලි සංකීර්ණයට මුල්ගල තැබීමේ උත්සවයට පසුගියදා සහභාගිවෙමින් අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය. 

    මේ සඳහා රුපියල් මිලියන 18ක මුදලක් වැය කිරීමට ඇස්තමේන්තු කර ඇත. 

    අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද කීය. "ඉතිහාසයේ සිට අපේ රටේ අධ්‍යාපනයට ස්ථිරසාර වැඩපිළිවෙළක් නොතිබීම ජාතියේ අභාග්‍යයක්. නිදහසෙන් පස්සේ ආණ්ඩුවෙන් ආණ්ඩුවට පමණක් නොව, එකම ආණ්ඩුවේ ඇමතිවරයාගෙන්, ඇමතිවරයාට පවා අධ්‍යාපනයේ ප‍්‍රතිපත්තීන් වෙනස් වුණා. 1994 ආණ්ඩුවේ පළමු පනත වුණේ වෘත්තීය පුහුණු අධිකාරිය පනතයි. එදා කම්කරු හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයා ලෙස වත්මන් ජනාධිපතිතුමා ආරම්භ කළ මේ ආයතනය හරහා නගරයට පමණක් සීමා වී තිබූ කාර්මික අධ්‍යාපනය ගමට ගෙනගියා. 

    කාර්මික අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ දැක්මක් හා වුවමනාවක් සහිත නායකයා එදා රාජ්‍ය නායකත්වය විසින් වසර දෙකක් තුළ ඉවත් කළා. එසේ නොවුණා නම් මේ ක්ෂේත‍්‍රය අද වන විට තිබෙන්නේ මීටත් වඩා ඉහළින්. ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියට සහ ජාතික තරුණ සේවා සභාවට කෑගල්ලේ දිස්ත‍්‍රික් කාර්යාලයක් නොමැති වීම, රංජිත් සියඹලාපිටිය අමාත්‍යතුමා තේරුම් අරගෙන මේ ස්ථානය ලබාදුන්නේ. දැයට කිරුළ ජාතික සංවර්ධනය වෙනුවෙන් එතුමා ලබාදෙන නායකත්වයට කෘතවේදීත්වය දක්වන්නත් මෙය අවස්ථාවක් කර ගන්නවා. 

    යෞවන සමාජ නිවාස වැඩපිළිවෙළ ආරම්භ කළේ කෑගල්ලේ මාවනැල්ලෙන්. හෘදයාංගම හා මිත‍්‍රශීලී බවින් යුතුව කෑගල්ල දිහා බලන්න අප කෘතවේදී වෙනවා. දිවයින පුරා ඉදිවන විශ්වවිද්‍යාල විද්‍යායතනවලින් එකක් දැරණියගල ආසනයට ලබා දුන්නා. ලබන වසරේ මැද වන විට එහි අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්න නියමිතයි. ජනාධිපතිතුමා කෑගල්ලට ප‍්‍රමුඛත්වය ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීම ඉටුකරනවා. අපේ රටේ කාර්මික අධ්‍යාපනය ආරම්භ වන්නේ 1893දී මරදාන කාර්මික විද්‍යාලය ආරම්භ කිරීමත් සමඟයි. නමුත් අපේ රටට අවශ්‍ය පරිදි වේගයෙන් එය විකාශනය වුයේ නැහැ. ඉතිහාසය පුරාම අපේ රට වෘත්තීය අධ්‍යාපනයට දක්වා තිබෙන්නේ මන්දගාමී ස්වරූපයක්. අපේ රටේ කාර්මික අධ්‍යාපනයේ පළමු උපාධිධාරියා බිහිවන්නේ 2012දීය. කාර්මික අධ්‍යාපනය රටේ ආරම්භ කර ඒ වන විට වසර 122ක්. 
    ගණිතයට දක්ෂ නැති කෙනා වෙනත් ක්ෂේත‍්‍රයකට දක්ෂ වෙන්න පුළුවන්. 19 වන ශත වර්ෂයේ වෛද්‍ය ඉංජිනේරු වෘත්තීන්වලට ඉහළ වැටුප් ලැබුණත් අද එයට වඩා වැටුප් ලබන කාර්මික අධ්‍යාපනය තුළ නිරත අය ඉන්නවා. දිය යට පෑස්සුම් ශිල්පියෙකුගේ වැටුප ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වැටුපට වඩා වැඩියි. මේ පෑස්සුම් ශිල්පීන්ගෙන් කවුරුත් ලකුණු අහන්නේ නැහැ" යැයි අමාත්‍යවරයා අවධාරණය කලේය.


    ග‍්‍රාමීය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආතාවුද සෙනෙවිරත්න, තොරතුරු තාක්ෂණ හා විදුලි සංදේශ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සභාපති චන්දන අරුණදේව යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya