මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති නියමයෙන් රත්නපුරට අධිවේගී මාර්ගයක්

    ජූලි 06, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිවිසුමේ සිට රත්නපුර ඔස්සේ පැල්මඩුල්ල දක්වා කි.මී. 71ක අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට අනුමැතිය ලබා දී ඇතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.
     

    රත්නපුර දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතාගේ කැදවීමෙන් රත්නපුර හිදැල්ලන සප්තපාදී ශාලාවේදී පැවැති රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී  ‍අමාත්‍යවරයා මේ බව පැවසීය.
     
    දැනට භාවිත පානදුර රත්නපුර ප්‍රධාන මාර්ගය විශේෂයෙන් ම ඉංගිරිය සිට වංගු රැසකින් යුතු මාර්ගයක්වීම නිසාවෙන් සිදුවන කාල නාස්තිය නවතාලමින් කහතුඩුව පිවිසුමේ සිට පැයක පමණ වේලාවකින් කහතුඩුව, මොරගහහේන, හඳපාන්ගොඩ, හොරණ, ඉංගිරිය, කිරිඇල්ල ඔස්සේ රත්නපුර සිට පැල්මඩුල්ල දක්වා ළඟාවීම සඳහා ඉදිකෙරෙන මෙම මාර්ගය රුවන්පුර අධිවේගී මාර්ගය ලෙස නම් කර ඇතැයිද ඉදිකිරීම් කටයුතු සඳහා වන ශක්‍යතා අධ්‍යයන ක්‍රියාවලිය මෙ වන විට නිමවෙමින් පවතින බව දන්වා ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.
     
    දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිත කරන්නන්ට එහි සිට රත්නපුර දක්වා ඒමට ගතවන කාල ප්‍රමාදය වලක්වා සංවර්ධන ක්‍රියාවලියේදී කාර්යක්ෂමතාව ඉහළ නංවාලීමද අනිකුත් ආර්ථික කටයුතු නංවාලීමටද ජනතාවට පහසු ගමනාඑගමනයක් සලසාලීමටද මේ තුළින් හැකිවන්නේ යැයි අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් පැවැසීය.
     
    මෙහිදී මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.ඒ.එස්. වීරසිංහ සහ උතුරු අධිවේගී මාර්ගයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වී.ඊ.එල්. වීරකොන් යන මහත්වරු ද සිය අදහස් පැවසූහ. මෙම අවස්ථාවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මියද දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ද පළාත් සභා මන්ත්‍රිවරුන් ඇතුළු මහජන නියෝජිතයින්ද සබරගමුව පළාත් සභාවේ ලේකම් හේරත් පී. කුලරත්න, රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් දයානන්ද කොළඹගම, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඩබ්.පී. සමන්තිලක යන මහත්වරුන් ඇතුළු රත්නපුර දිස්ත්‍රික් හා පළාත් සභා  රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් රැසක්ද සහභාගි වු බව රත්නපුර දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය පවසයි.
     

    ECB/SW/NR_dmu_Rathnapura
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya