මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවරට උපාය මාර්ගික නාගරික සංවර්ධන ව්‍යාපෘතියක්

    ජූලි 05, 2014

    මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් දියත් කිරීමට නියමිත උපාය මාර්ගික නාගරික සංවර්ධන ව්‍යාපෘතියේ මූලික ඉදි කිරීම් කටයුතු එළැඹෙන අගොස්තු මාසය අවසන් වීමට පෙර ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බව රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාතංශයේ අතිරේක ලේකම් ජනක කුරුකුලසූරිය මහතා පවසයි.


    අතිරේක ලේකම්වරයා මෙම අදහස් පළ කළේ මහනුවර නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (04) පැවති විශේෂ රැස්වීමකදීය.


    මහනුවර නගරය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුව මගින් ඇමරිකානු ඩොලර් මිලියන සියයක මුදලක් ලබා දීමට එකඟත්වය පළ කොට තිබෙන අතර, ඒ යටතේ මහනුවර අවට තදාසන්න ප්‍රධාන මාර්ග තුනක් සංවර්ධනය කිරීමට නියමිතය. එම මාර්ග අතරින් ප්‍රධානතම මාර්ගය වන්නේ ගැට‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ඹේ සිට ගොහාගොඩ හරහා කටුගස්තොට දක්වා දිවෙන මාර්ගයයි. ඊට අමතරව කටුගස්තොට මැදවල මාර්ගය සහ ධර්මා‍ශෝක මාවතද සංවර්ධනය කිරීමට නියමිතය.


    මෙම මාර්ග ඉදි කිරීම වෙනුවෙන් ඉඩම් කට්ටි අත්පත් කර ගැනීමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින අතර, එම ඉඩම් කට්ටි තක්සේරු කොට වන්දි ගෙවීමටද කටයුතු යොදා තිබේ. ඒ වෙනුවෙන් තක්සේරු දෙපාර්තමේන්තුව සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුව කඩිනම් වැඩපිළිවෙළක් මේ වන විටත් දියත් කොට තිබේ.


    මහනුවර නගරය සහ අවට ප්‍රදේශවල රථ වාහන තදබදය අවම කිරීම, පාරිසරික පද්ධතිය රැක ගැනීම සහ මහනුවර නගරයේ ඓතිහාසික බව රැකගනිමින් අලංකාරවත් නගරයක් බවට පත් කිරීම යන මූලික අරමුණු පෙරදැරි කරගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය. මෙම ව්‍යාපෘතිය තුළින් මහනුවර නගරය දෙස් විදෙස් සංචාරකයන්ට ආකර්ෂණීය ප්‍ර‍දේශයක් බවට පත් කිරීමටද බලාපොරොත්තු වන අතර රියදුරන්ට සහ පදිකයන්ට වඩාත් සිත් ඇදගන්නා සුලු ප්‍රදේශයක් බවට මහනුවර නගරය හා තදාසන්න ප්‍රදේශය පත් කළ හැකි වනු ඇත.


    ලෝක බැංකු ව්‍යාපෘතියක් ආධාර යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාතංශය මගින් ක්‍රියාත්මක කරන අතර මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූලික පර්යේෂණ සහ අධ්‍යයනයන් මොරටුව විශ්වවිද්‍යාලය මගින් සම්බන්ධීකරණය කොට තිබේ.


    මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මෙම විශේෂ රැස්වීම සඳහා මහනුවර නගරාධිපති මහේන්ද්‍ර රත්වත්තේ, මහනුවර දිසාපති එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහත්වරුන් සහ ලෝක බැංකු නියෝජිතයන් ඇතුළු තවත් රජයේ නිලධාරීන් රැසක් සහභාගී වූහ.


    HC/TA_dmu_kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya