මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුර නැගුමින් පදවිය ජනතාවට සෙත

    ජූලි 04, 2014

    පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන පුර නැගුම වැඩසටහනින් පදවිය ප්‍රදේශයේ ජනතාවගේ පොදු පහසුකම් නැංවීමට පියවර ගැනේ.


    ඒ අනුව එහි මුල් අදියර යටතේ රුපියල් ලක්ෂ 174ක වියදමින් පදවිය අලිවංගුව ප්‍රදේශයේ ඉදිකෙරෙන බහුකාර්ය ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීම ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද සහ උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකොන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.


    මෙම බහුකාර්ය ගොඩනැගිල්ල ඉදිකිරීම නිසා පදවිය ප්‍රදේශයට මෙතෙක් විශාල අඩුපාඩුවක්ව පැවති රැස්වීම් ශාලාවක් හා සියලු පහසුකම්වලින් සමන්විත රංග ශාලාවක් ද ප්‍රතිලාභ වශයෙන් ලැබේ.

    එමෙන්ම මීට සමගාමීව අලිවංගුව ප්‍රදේශයේ දරු දැරියන් සඳහා අංග සම්පූර්ණ පෙර පාසලක් සහ ළමා උද්‍යානයක් ද අදාළ බහුකාර්ය ගොඩනැගිල්ල අසල ඉදිකෙරේ.
     

    එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ නිරන්තර පීඩාවන්ට මුහුණදුන් පදවිය ජනපදයේ ජනතාව වෙනුවෙන් “පුර නැගුම” වැඩසටහන හරහා විශාල සංවර්ධනයක් සිදුවන බවත්, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය රංජිත් සමරකොන් මහතාගේ ඍජු, දක්ෂ නායකත්වය ඒ සඳහා හේතු වී ඇති බවත් මෙහි දී අදහස් දැක්වූ ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා ප්‍රකාශ කළේය.


    තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා, “වසර තිහක් පමණ තිස්සේ එදා ලෝකේ දරුණුම ත්‍රස්තවාදීන්ගෙන් රට ආරක්ෂා කරගන්න මිනිස් පවුරක් ලෙස සිටිමින් තම ජීවිත පරිත්‍යාග කර රට වෙනුවෙන් පදවිය ජනතාව කළ අමිල සේවයට උපහාරයක් ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් මේ ජනපදයටත් සංවර්ධනයේ ආලෝකය ලබා දී තිබෙනවා.

    එදා පදවිය ජනතාවත් කොටි ත්‍රස්තවාදීන්ට බයේ ප්‍රදේශය අතහැර ගියා නම් රටට සාමය ළඟාකර ගැනීම තව ඈත් වෙන්න ඉඩ තිබුණා. එදා සාමය ලබාදුන්න ජනාධිපතිතුමා, රණවිරුවන්, එයට විවිධ අයුරින් සහයෝගය දුන් මෙවැනි ජනතාව ගැන මතකය අද සාමය භුක්ති විඳින සියලු දෙනාගේ හදවත්වල තිබිය යුතුයි.

    අද මධ්‍යම  රජය පළාත් සභාව වගේම ප්‍රාදේශීය සභා එක්ව උතුරු මැද පළාත  සංවර්ධනය කිරීමට අත්වැල් බැඳගෙන සිටිනවා. යම් කටයුත්තක් කිරීමට තනිව වෙහෙසෙනවාට වඩා එක්ව සාමූහිකව කටයුතු කිරීම වඩාත් වාසි සහ ප්‍රතිඵලදායක බව අද අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයින් ද තේරුම් ගෙන තිබෙනවා”.
     

    තිස්ස කරල්ලියද්ද අමාත්‍යවරයා ඇතුළු මහජන නියෝජිතයන්ගේ සාමූහික නායකත්වය යටතේ මැදවච්චිය ආසනයේ සිදුවන විශාල සංවර්ධනය අද රටට මනා ආදර්ශයක් වන බව මෙහි දී අදහස් දැක්වූ උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා ප්‍රකාශ කළේය.


    එදා නගරයට සීමා වී තිබූ සංවර්ධනය අද ඈත පිටිසර ගම්වලටත් ලබාදීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පියවර ගෙන තිබීම පිළිබඳ පදවිය වැනි ප්‍රදේශ වල ජනතාවගේ කෘතවේදීත්වයත් එතුමන්ට ලබාදිය යුතුයි.
     

    අද මෙරට සිටින ඇතැම් අන්තගාමීන් සහ ජාත්‍යන්තර වශයෙන් පටු අරමුණු වෙනුවෙන් කටයුතු කරන පුද්ගලයන්ගේ ප්‍රාර්ථනා ඉටුකිරීමට මේ රටට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ උදාර නායකත්වය තිබෙන තුරු නොහැකි වන බව ද මෙහි දී අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.

     

    මෙම අවස්ථාවට උතුරුමැද පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායිකා කල්යානි කරල්ලියද්ද, පළාත් සභා මන්ත්‍රී සුසිල් ගුණරත්න, පදවිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධර්ම ශ්‍රී සෝමතිලක යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් පැමිණ සිටියහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya