මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෞද්ගලික ඔසුසල් හිමියන්ට සහන රැසක්

    අගෝස්තු 15, 2017
    පෞද්ගලික ඔසුසල් හිමියන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) පස්වරුවේ සෞඛ්‍ය ආමාත්‍යාංශයේ දී පැවැත්විණි.
     
    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඖෂධ වර්ග 450 ක් ඔසුසල්වල අලෙව් කරන අතර, ඉන් ඖෂධ වර්ග 114 කට සියයට 18 ක වට්ටම් මුදලක් ලබාදෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙහිදී පැවැසීය.
     
    ඇමරිකානු ඩොලරය ඉහළයාම හේතුවෙන් ඖෂධ සඳහා ලැබෙන ලාභය ප්‍රමාණවත් නොවන බව ඔසුසල් හිමියන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයාට පෙන්වා දුන්හ. ඒ පිළිබඳ අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සමග සාකච්ඡා කර මෙම වෙළෙද වාසිය පෞද්ගලික ඔසුසල් හිමියන්ට ලබාදීමට තීරණය කරන ලදි. පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ නියෝජිතයින් මෙහිදී ප්‍රකාශ කළේ ෆාමසි ලියාපදිංචි කිරිම සඳහා අය කරන ගාස්තුව ගැසට් පත්‍රයක් මගින් ඉහළ දමා ඇති බවයි. එම ගාස්තුව අවම කිරිමට කටයුතු කරන මෙන් සංගමයේ නියෝජිතයින් ඉල්ලා සිටියහ. මෙවැනි ගාස්තු සංශෝධනයක් සිදු කර ඇත්තේ වසර 15 කට පසුවයි. ඒ අනුව ඔසුසල් ලියාපදිංචි කිරිම සඳහා මෙතෙක් අය කර ඇති මුදල වන්නේ රුපියල් 4600 කි. එය නව ගැසට් පත්‍රයට අනුව රුපියල් 18,000 දක්වා ඉහළ දමා ඇත. සෞඛ්‍ය අමාත්‍යවරයාට මෙම කරුණ පෙන්වා දීමෙන් පසු ඔසුසල් ලියාපදිංචි කිරිම සඳහා අය කරන ගාස්තුව රුපියල් 7500 දක්වා අඩු කර ගැසට් පත්‍රය සංශෝධනය කරන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතාට දැනුම් දෙන ලදි. තව ද ඖෂධ තොග සහ සිල්ලර වශයෙන් පවත්වාගෙන යන වෙළෙද සැල් ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 38,750 දක්වා නව ගැසට් පත්‍රයෙන් ඉහළ දමා තිබුණි. මීට පෙර එවැනි ලියාපදිංචියක් සඳහා අයකර ඇති ගාස්තුව වන්නේ රුපියල් 6500 කි. සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමය එම ගාස්තුව ද අඩු කර දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි අතර ඒ පිළිබඳ අවධානය යොමු කරමින් අදාල ගාස්තුව රුපියල් 10,000 දක්වා අඩු කරන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාට දැනුම් දෙන ලදි.
     
    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවැසීය. “කිසියම් නගරයක් ගත් විට ඔසුසල් වැඩි බව හෙළි වී තිබෙනවා. එම නිසා ගුණාත්මක සේවාවක් සිදු කිරීමේ නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා. එම නිසා සියලු ම ඔසුසල් නියාමනය කළ යුතුයි. රජයේ රෝහල්වල ඖෂධ තිබෙන නිසා ඔසුසල්වල ආදායම ද අඩු වී තිබෙනවා. ඇතැම් වෛද්‍යවරුන් ඖෂධ තොග වශයෙන් රැස්කර තබා ගන්නවා. එය තහනම් කටයුත්තක්. එවැනි වෛද්‍යවරුන් පිළිබඳ තොරතුරු ඇතුලත් වාර්තාවක් සකස් කර ජාතික ඖෂධ නියාමන අධිකාරියට බාර දෙන්න. ඉන් පසු එම ස්ථාන පිළිබඳ ව පරීක්ෂණ ආරම්භ කරන්න පුලුවන්. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමේ වැඩපිළිවෙලේ දී පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය මට විශාල සහයෝගයක් ලබාදුන්නා.”
     
    මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේ, එහි කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම් රූමි, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා, එහි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ සහ පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහත්වරු ඇතුලු නිලධාරී මණ්ඩලය එක්ව සිටියහ.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya