මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර පළාත් මදුරු මර්දන වැඩසටහනේ දෙවන මෙහෙයුම ඇරඹේ

    ජූලි 03, 2014
    ජනාධිපති ඩෙංගු මර්දන කාර්යසාධක බලකාය එක්ව බස්නාහිර පළාතේ ක්‍රියාත්මක ඩෙංගු මර්දන වැඩසටහනේ දෙවන මෙහෙයුම අද (03) සිට ලබන 05 දින දක්වා ක‍්‍රියාත්මක කරනු ඇත.

    ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ත‍්‍රිවිධ හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකාය එක්ව බස්නාහිර පළාත තුළ මෙම මෙහෙයුම සිදු කරනු ලැබේ.  
     

    බස්නාහිර පළාත තුළ පසුගියදා සිදු කරන ලද පළමු මෙහෙයුම තුළින් 150,000ක් පමණ පරිශ‍්‍රයන් පරීක්ෂා කිරීමට හැකියාව ලැබුණු බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පී.ජී. මහීපාල මහතා ඊයේ (02) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

     

    දෙවන මෙහෙයුමේදී කොළඹ නගර සභා සීමාව තුළ පරිශ‍්‍රයන් 117,830ක් පමණ පරීක්ෂා කිරීම සිදු කෙරෙන බව ද විශේෂඥ වෛද්‍ය මහීපාල මහතා වැඩිදුරටත් පැවසීය. මෙම ඩෙංගු මර්දන වැඩසටහන කළුතර හා ගම්පහ දිස්ත‍්‍රික්කවල ද ක‍්‍රියාත්මක කෙරෙනු ඇත.

     

    මේ වනවිට ඩෙංගු රෝගය ශ‍්‍රී ලංකාවේ පමණක් නොව රටවල් 106ක ව්‍යාප්තවී තිබෙන වසංගත රෝගයකි. ලෝකයේ වසරකට මිලියන 50 - 100 අතර රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලින් පෙන්වා දෙයි. ආර්ථික වශයෙන් දියුණුවට පත් සිංගප්පූරුව, මැලේසියාව හා තායිලන්තය වැනි රටවල පවා ඩෙංගු රෝගය වසංගත තත්ත්වයක පවතිනු ඇත. ශ‍්‍රී ලංකාවේ ද මේවන විට ඩෙංගු රෝගීන් 17,856ක් වාර්තා වී ඇති අතර ඒ අතරින් බස්නාහිර පළාත තුළ රෝගීන් 10,524ක් වාර්තා වේ. ඩෙංගු මරණ සංඛ්‍යාව 50කි. 

     

    මෙම රෝගය මර්දනය කිරීම සඳහා වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම මෙන්ම රෝගීන් සඳහා අවශ්‍ය කරන රසායානාගාර සේවාව පුළුල් කිරීම, උණ රෝගීන් සඳහා වෙනම ස්ථාන හා අධි සත්කාරක ඒකක දිවයිනේ ප‍්‍රධාන රෝහල් තුළ ස්ථාපිත කිරීම මෙන්ම සෞඛ්‍ය සේවයේ නිලධාරීන් පුහුණු කිරීම වැනි කාර්යයන් ද සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ඉටු කර ඇත. 

     

    මදුරු මර්දන වැඩසටහනෙහි තුන්වන මෙහෙයුම ජූලි 08 සිට 10 දක්වා කාලය තුළ ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා මෙහිදී පැවසීය.

     

    මදුරුවන් බෝවීම වළක්වාලීම සඳහා නිරන්තරයෙන් ඔබගේ පරිශ‍්‍රයන් පිරිසිදු කර ඩෙංගුවලින් තොර පරිශ‍්‍රයක් බවට සහතික කරනු ලබන ග‍්‍රීන් ස්ටිකර් එකක් ලබා ගැනීමට කටයුතු කරන මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවට දන්වා සිටියි.  

     

    දින දෙකකට වැඩි උණක් පවතී නම් ළඟම තිබෙන රජයේ රෝහලකට පැමිණ ප‍්‍රතිකාර සඳහා යොමුවන වන ලෙසත් උණ අඩුකිරීම සඳහා පැරසිටමෝල් ඖෂධය පමණක් භාවිතකරන ලෙසත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.

     

    ඩෙංගු මදුරුවන්ට හිතකර පරිසරයන් නිර්මාණය කරනු ලබන්නේ ප‍්‍රජාව වන අප විසින්ම බැවින් ඩෙංගු මදුරුවන් බහුතරයක් බෝවන ඉවතලන භාජන විනාශ කිරීමටත්, ජලය එක්රැස් කරන භාජන, ටයර් හා අලංකාරයට සාදා ඇති පොකුණු වැනි දෑ පිරිසිදු කර මදුරුවන් බෝවීම වළක්වාලීමට දායක වන මෙන් ද වැඩිදුරටත් ඉල්ලා සිටියි.

     

    මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සරත් අමුණුගම, යුද හමුදාවේ අධ්‍යක්ෂ මෙහෙයුම් හා සැලසුම් බි‍්‍රගේඩියර් හරේන් පෙරේරා, පොලිස් පරිසර ඒකකයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ක්වින්ටස් රේමන්, නාවික හමුදාවේ රියල් අද්මිරාල් විපුල ජයසේකර, වසංගත රෝග අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය පබා පලිහවඩන හා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්ෂිකා නීලමනී හේවාගීගන රාජපක්ෂ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

     

    NDH/SK- cmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya