මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය අනන්‍යතාව ශක්තිමත් කරන ආර්ථිකයක් ගොඩනැගීම රජයේ අරමුණයි

    ජූලි 03, 2014
    බටහිරවාදී න්‍යායපත්‍රවලට නොව, දේශීය අනන්‍යතාවය ශක්තිමත් කරන ආර්ථිකයක් ගොඩනැගීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු සන්ධාන රජයේ ප්‍රමුඛතම අරමුණ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
     
    අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ, මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙනයාම තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ වෙනත් බටහිර රටවල්වල ආර්ථික මොඩලයන් වෙත නොයා, රටට ගැළපෙන ආර්ථික ක්‍රියාවලියක් රට තුළම නිර්මාණය වී ඇති බවයි. 
     
    අමාත්‍යවරිය මේ බව පැවසුවේ පසුගිය අඟහරුවාදා LED ආලෝකනයේ මෙරට ප්‍රමුඛ ආයතනයක් වන Eco Solve (ඉකෝ සෝල්ව්) සමාගමේ පළමු ප්‍රදර්ශනාගාරය නුගේගොඩදී විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.
     
    ඉතා කෙටි කාලයක් තුළ කලාපීය රටවල් අතරින් ආර්ථිකමය වශයෙන් නැගීසිටීමට ශ්‍රී ලංකාවට හැකිවී ඇති බවත් එය ඇතැම් බටහිර බලවේගවලට දරා ගැනීමට නොහැකි වී ඇති බවත් ඇය මෙහිදී පෙන්වා දුන්නාය.
     
    රට තුළ  සිදුවන එම මහා ආර්ථික පරිවර්තනය උසුලාගැනිමට නොහැකි, ඇතැම් බටහිර බලවේග ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනගන නායකත්වයේ පෞරුෂය බිඳදැමීමට උත්සාහ දරමින් සිටී. එහෙත් එවැනි ජාත්‍යන්තර බලවේගවලට පිළිතුරු ලබාදිය යුත්තේ, තවදුරටත් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම තුළිනි. අතිගරු ජනාධිපතිතුමා ඇතුළු සන්ධාන රජයේ මීළඟ ඉලක්කය වන්නේ දේශීය කර්මාන්තකරුවන් ජාත්‍යන්තරයට ඔසවා තැබීම බව ද අමාත්‍යවරිය පැවසුවාය.
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමිය,
    "දේශපාලඥයො හැටියට අප නිතරම හිතන්නේ රට හා රටේ ජනතාව ගැනයි. රටේ ආර්ථිකය, ජනතාවගේ ආර්ථිකය ඉහළට ගන්න අවශ්‍ය කටයුතු අප සිදු කරනු ඇත. ලෝකයේ දියුණුම රටවල ආර්ථික වර්ධන වේගය මේ වන විට අඩුවෙමින් පවතී. ඒ රටවල ආර්ථිකය අනපේක්ෂිත ආකාරයට සමහර අවස්ථාවල  කඩා වැටෙනවා. ලෝකයේ බලවතා ලෙස ඇමරිකාව හිටියත්, මේ වනවිට චීනය ඒ තත්ත්වයට නැගිටිමින් සිටිනවා. 2040 වෙද්දි චීනය, ඇමරිකාව සිටින ස්ථානයට පැමි‍ණේවි. 2020 වෙද්දි ඉන්දියාව, දැන් චීනය සිටින තැනට පත්වේවි. ඒ ආකාරයට පසුගිය කාලයේදී මැලේසියාව, හොංකොං ආදී රටවල් නැගිට්ටා. ලෝකයේ බලවත් රටවල් ඊළඟට නැගිටින රට ශ්‍රී ලංකාව බව දකිනවා. 
     
     
    අද ලංකාව මැදි ආදායම් ලබන රටක්. ඉස්සර අපේ ප්‍රදේශවල පොල් අතු පැලවල්වල ජීවත්වුණ මිනිසුන් සිටියත් අද එහෙම නැහැ. අද ගමේ පාරවල් කොන්ක්‍රීට් වෙලා. ගමයි නගරයයි යාකරන පාරවල් කාපට් වෙලා. ගමේ පාසලට කොම්පියුටර් ඇවිල්ලා. දෙමළ සිංහල භාෂාගාර ඇවිත්. ඉතාමත් ඌන තත්ත්වයක පැවති යටිතල පහසුකම් අද විශාල වශයෙන් සංවර්ධනය වෙලා. මහින්ද චින්තන ඉදිරි දැක්මත් සමඟ අපේ රට අද අපටම උරුමවූ ආර්ථික වැඩපිළිවෙළකට ගමන් කර ඇතැයි ඇය කීය.
     
    අතිගරු ජනාධිපතිතුමාගේ සිහිනය දේශීය කර්මාන්ත ජාත්‍යන්තර මට්ටම දක්වා රැගෙනයාමයි. අපේ ආර්ථිකයේ ඊළඟ පිම්ම එයයි. රටේ පවතින සාම්ප්‍රදායික අපනයනයන් වෙනුවට නවීන තාක්ෂණික අපනයනයන්වලට යා යුතුයි. ඒ අනුව අතිගරු ජනාධිපතිතුමාගේ බලාපොරොත්තු ඉටුවන බවක් පේනවා. රටක අපනයන ක්ෂේත්‍රය සංවර්ධනය වෙනවා කියන්නෙ, ඒ රට දිනනවා කියන එකයි. රටේ ජනතාව විදුලි ක්ෂේත්‍රයේ නවීන තාක්ෂණයට අත තියනවා කියන එක, විශාල ජයග්‍රහණයක්. ශ්‍රී ලංකාව තුළ තවදුරටත් පවතින ගුණාත්මක තලයේ බලශක්ති හිඟයට සාර්ථකව විසඳුම් ක්‍රම හඳුන්වා දියයුතු කාල සීමාවක ඉකෝ සෝල්ව් සමාගම පාරිභෝගිකයන් අතරට පැමිණ තිබෙනවා. එසේම LED ආලෝකන විසඳුම් සම්බන්ධව පර්යේෂණ හා සංවර්ධන අංශයක් සතු එකම ශ්‍රී ලාංකේය ආයතනය ලෙස ද ඉකෝ සෝල්ව් පෙරමුණේ සිටීම සුවිශේෂත්වයකි. අනෙක් ප්‍රධානතම කරුණ වන්නේ ඉකෝ සෝල්ව් LED ආලෝකන විසඳුම් ක්‍රියාවලිය මඟින් පරිසරයට මුදාහැරෙන්නට තිබූ අතිවිශාල කාබන් ප්‍රමාණයක් වළක්වා ගැනීමට හැකිවීමයි. එය සැබවින්ම ජාතික කර්තව්‍යයක් " බව ද එතුමිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය. 
     
    මේ අවස්ථාවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම් එම්.එම්. සී. ප්‍රදිනාන්දු, විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්.බී. ගනේගල, සාමාන්‍යාධිකාරි ශවිද්‍රනාත් ප්‍රනාන්දු, විදුලිබල අමාත්‍යාංශයේ අතිරේක ලේකම් උපාලි දරණගම, ඉකෝ ස්ලෝව් ආයතනයේ සභාපති ඉන්දික නෙත්තසිංහ යන මහත්වරු සහභාගී වූහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya