මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර සංවර්ධනයට ජනාධිපතිතුමා මිලියන 3000ක් ලබාදී තියෙනවා

    ජූලි 02, 2014
    අපේ ධීවරයාට අවශ්‍ය ධීවර වරායන්, නැංඟුරම් පොළවල් අලුතින් හදන්න, තියෙන ධීවර වරායන් තවදුරටත් නවීන පහසුකම්වලින් සංවර්ධනය කරන්න මේ වසරට අතිගරු ජනාධිපතිතුමා අයවැයෙන් රුපියල් මිලියන 3000ක් ලබාදී තිබෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.


    මේ මුදල්වලින් පළමුවෙන් ම කළමැටිය ධීවර වරායේ හා කයිකාවල නැංගුරම් පොළේ වැඩ කටයුතු ආරම්භ කරන බව ද ධීවර අමාත්‍යවරයා පසුගියදා ගාල්ල දිස්ත‍්‍රික්කයේ කයිකාවල නැංගුරම් පොළට මුල්ගල තැබීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් පැවසීය.


    නැංගුරම් පොළ ඉදිකර දෙන මෙන් කයිකාවල ධීවරයන් බොහෝ කලක සිටම ඉල්ලා සිටි අතර වාර ගණනාවක්ම උද්ඝෝෂණ ද පවත්වනු ලැබීය. අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ නියමයෙන් පවත්වන ලද සක්‍යතා අධ්‍යයන වාර්තාවෙන් පසුව ස්ථානයට සුදුසු අයුරින් මෙම නැංගුරම් පොළ ඉදිකිරීමට පියවර ගනු ලැබීය. මේ සඳහා රජය වැය කරනු ලබන මුදල රුපියල් මිලියන 200කි.


    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේද පැවසීය. "අද අපි ආවේ ඔබේ කයිකාවල නැංගුරම් පොළට මුල්ගල තියන්න. මම ගාලු දිස්ත‍්‍රික්කයේ සංචාරයක යෙදුණ අවස්ථාවේ කයිකාවලට පැමිණ එහි ඇති හැම තැනක්ම ඇස් දෙකෙන් බලා ගත්තා. හැම වරායකටම, නැංගුරම් පොළකටම, තොටුපොළකටම ගමන් කළා. මෙහේ ධීවර ජනතාව මගෙන් ඉල්ලුවේ තොටුපොළක් තියෙන නිසා බෝට්ටු ටික බැඳගන්න නැංගුරම් පොළක් හදා දෙන්න කියලා. එහිදී ඉංජිනේරු මහත්වරුන් කිව්වේ සක්‍යතා වාර්තා අනුව දකුණේ ස්ථාන 03ක නැංගුරම් පොළවල් හදන්න බැහැ කියලා. ඒවා නම් කයිකාවල, මාතර කප්පරතොට හා පැරෑලියයි. එම ව්‍යාපෘති සඳහා සභාපතිවරයෙක් පත්කරමින් කයිකාවලට නැංගුරම් පොළක් ලබාදෙන්න හැකි වූ බව" පැවසීය.

     

    අපේ ජනාධිපතිතුමා මේ වසරේ ධීවර කර්මාන්තයේ සංවර්ධනයට රුපියල් මිලියන 2,000ක් වෙන්කළා. එන වසරට තව රුපියල් මිලියන 1,000ක් වෙන් කර තියෙනවා. දැනට මාස කිහිපයකට කලින් ජනාධිපතිතුමා මාතර පැමිණි දවසේ කප්පරතොටට මුල්ගල තිබ්බා. 

    කයිකාවල හදන්න රුපියල් මිලියන 200ක් වෙන් කරනවා. මෙහි වැඩ නිමකර ඉක්මනින් විවෘත කරන්නට බලාපොරොත්තු වෙනවා. පෑලියගොඩ තොග වෙළෙඳ මධ්‍යස්ථානය මෙන්ම ජාත්‍යන්තර ධීවර වරාය දික්ඕවිට හැදුවා. ඒ වගේම මව් යාත‍්‍රා 2ක් චීනයේ නිෂ්පාදනය වෙනවා. මේ යාත‍්‍රා දෙක මඟින් ඉන්ධන වියදම වෙනුවට සහනයක් දෙන්න හැකි වෙනවා. 

     

    අයවැය ලේඛනයෙන් ධීවරයන් වෙනුවෙන් ඉල්ලීම් 4ක් ඉල්ලුවා. එනම් මුළු ධීවර කර්මාන්තයම ආදායම් බද්දෙන් නිදහස් කළා. සියලු බලපත‍්‍ර ගාස්තු නොමිලේ ලබාදුන්නා. ලංකාවේ තියෙන අඩුම පොලියට ධීවර ණය යෝජනා ක‍්‍රමය ගෙනාවා. ගිය වසරේ රුපියල් බිලියනයක් ධීවරයන්ට දියවර දිරිය ණය දුන්නා. ලංකාවට ගේන ධීවර ආම්පන්නවල බදු අයින් කළා. මේවා සහනාධාර නෙවෙයිද? 2014 දෙසැම්බර් 31 වෙන කොට මත්ස්‍ය අස්වැන්න මෙට්රික් ටොන් 5,12,000 දක්වා වැඩි වෙලා. ඒ නිසා මාළු මිල පාලනය වෙනවා. නිෂ්පාදනය වැඩි වෙනකොට මිල තරගයට යනවා. මිල එක ස්ථාවරයක තියෙනවා. ඒක පාරිභෝගිකයාට හොඳයි. අපි මේ වගේම උතුරටත් මුදල් කෝටි ගණන් වියදම් කළා. උතුරේ ප‍්‍රධාන කර්මාන්තය ධීවර කර්මාන්තය" බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. 


    මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න, දකුණු පළාත් සභා මන්ත‍්‍රිනී ගීතා කුමාරසිංහ, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක, සීනෝර් සභාපති හා ව්‍යාපෘති අධ්‍යක්ෂ සරත් කුමාර ද සිල්වා, සීනෝර් කළමනාකාර අධ්‍යක්ෂ උජිත් අනුරාධ යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya