අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජා ඇළ සංවර්ධනයට ලක්ෂ 4230ක්

    ජූනි 30, 2014

    ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යංශයෙන් 2014 සඳහා ජනාධිපතිතුමන්ගේ මැදිහත් වීම තුළින් ලක්ෂ 4230ක් ජා ඇළ ආසනය සංවර්ධනය කිරීමට ලැබී ඇති බව සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා ජා ඇළ ආසනයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ  කමිටු රැස්වීමට එක් වෙමිනි. මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, “මේ තරම් මුදලක්  ආසනයකට ලැබුණ ප්‍රථම අවස්ථාව මෙය වන බවයි. ජනතාවගේ බදු මුදල්, වියදම් කිරීමේදී නිර්ණායකයන් පවතිනවා. එම නිර්ණායකයන් තුළින් සංවර්ධන වැඩ පාරිශුද්ධත්වයෙන් කළ යුතු වෙනවා. ග්‍රාමීය පාසල් සඳහා රුපියල් මිලියන 06ක්, දිවිනැගුමට රුපියල් ලක්ෂ 2099ක්, සුළු වාරිමාර්ග සඳහා  රුපියල් මිලියන 4ක්, ග්‍රාමීය පාලම් සඳහා රුපියල් ලක්ෂ 30ක්, පානීය ජලය, ළමා නිවාස පොදු ළිං යටතේ දිවිනැගුම සඳහා රුපියල් මිලියන 62ක්, වශයෙන් දොරින් දොරට ගමින් ගමට ආර්ථික සංවර්ධනය සඳහා වූ ජාතික සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ග්‍රාම නිලධාරීන්, ගොවි සංවිධානවල නිලධාරීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, උපාධිධාරීන් සමඟ සියලු ම  ජනතාවගේ  සහභාගීත්වයෙන් ලබාගන්න ලද යෝජනා හා අදහස් ඒකරාශී කර  මා තේරීම් භාර සංවර්ධන කමිටු සභාපති වශයෙන් ජනතාවට වඩාත් අවශ්‍ය දේ සුදුසු දේ සත් භාවයෙන් කිරීමට කැපවෙනවා.”

    මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ සමාජසේවා අමාත්‍යවරයා පැවසුවේ, දැනට පාලම් හා බෝක්කු 14ක් යෝජනා වී ඇති අතර, මේවා ප්‍රතිපාදන ඇති ආකාරයෙන් ප්‍රමිතියක් අනුව නිමකිරීමට බලාපොරොත්තු වෙනවා. ප්‍රමිතිය පරීක්ෂා කිරීමෙන් පසු මුදල් ගෙවීමට තීරණය කරනවා. මෙම ප්‍රමිතිය අධීක්ෂණය සඳහා විශේෂයෙන් වැඩිහිටි සමිති සහභාගී කර ගන්නවා. වැඩිහිටි සමිතිවල සිටින වෘත්තීයවේදීන්ගේ සහයෝගය මේ සඳහා අපි බලාපොරොත්තු වෙනවා. වයසින් විශ්‍රාම ගියත් බුද්ධියෙන් විශ්‍රාම නොයන වැඩිහිටි සමිති සඳහා කොන්ත්‍රාත් ලබා ගැනීම අපි අනුමත කරලා තියෙනවා. මේ සඳහා වැඩිහිටි සමිතියකට 5%ක්  ලබා දෙනවා. දැනටමත් තුඩැල්ල වැඩිහිටි සමිතිය ලක්ෂ පහමාරක මුදලක් උපයා තිබෙනවා. මෙවැනි ආර්ථික ක්‍රමවේදයන් ජා ඇළ ආසනයෙන් ලංකාවට හඳුන්වා දී තිබෙනවා.

    අපි මේ අවස්ථාවේ ජා ඇළ පොලිසියට ප්‍රශංසා කළ යුතු යුතුයි. අපරාධ අඩුවෙලා, මත්ද්‍රව්‍ය, හොර ජාවාරම් අඩුවෙලා. ඉදිරියේදීත් ජාවාරම්කරුවන්ටත් අපරාධකරුවන්ටත් කිසිම සහයක් ලබා දෙන්න ඉඩ තියන්නේ නෑ. දවසින් දවස පැයෙන් පැය විනාඩියෙන් විනාඩිය අපි සියල්ල ම පොලිසියට සහයෝගය ලබා දී මත්ද්‍රව්‍ය හා අපරාධ මැඬලීමට ක්‍රියා කළ යුතුයි. මේක පොලිසියේ වගකීමක් විතරක් නොවේ, සමස්ත අපි සියලු දෙනාගේ ම වගකීමක්. ඒ වගේම ආසනයේ ජනතාවගෙන්  97%කට පානීය ජලය ලබා දී තිබෙනවා. ලක්ෂ පනස්පන්දහසක් වියදම් කර කාර්මික අපද්‍රව්‍ය ශුද්ධ කරන ස්ථානයක් ඒකල ස්ථාපිත කරලා තියෙනවා. මෙයින් කාර්මික අපද්‍රව්‍ය පස් සමඟ මිශ්‍ර වීම සහමුලින්ම නවතිනවා. කර්මාන්ත විශාල ප්‍රමාණයක් පවතින ජා ඇළ ආසනයේ කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණය ඉතා හොදින් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ නිසා රතුපස්වල වැනි සිදුවීමක් ජා ඇළ ආසනයේ සිදු නොවන බව අපි තරයේ විශ්වාස කරනවා. පසුගිය කාලේ අපේ ආසනයේ විදුලිය නිසා විදුලි උපකරණවලට  සිදුවූ හානිය ඒ වගේම විටින් විට සිදුවූ විදුලිය විසන්ධි වීම් මතක ඇති. ඒවාට සම්පුර්ණ විසඳුම් අපි ලබා දුන්නා. දැන් පැය විසිහතර පුරාවට ඒකාකාරී විදුලිය ජා ඇළ ආසනයට ලබා දීමට පොල්පිතිගම උප බලාගාරයක් ස්ථාපිත කළා.


    මෙහිදී යෝජනා ඉදිරිපත් කර බොරැල්ල කාසල් මාතෘ රෝහලට සමාන මාතෘ රෝහලක් නාගොඩ ප්‍රදේශයේ ඉදිකිරීමට තෝරාගෙන ඇති බවත්, මේ සඳහා චීන ආධාර යටතේ රුපියල් බිලියනයකට වැඩි මුදලක් වියදම් කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසීය. නව තාක්ෂණය උපයෝගී කරගෙන අනාගතයට ගැළපෙන අයුරින් රාගම තට්ටු පහකින් සමන්විත වෙළඳසැල් 200කින් යුක්ත වෙළඳ සංකීර්ණයක් ගොඩනැගෙමින් පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.

    තවදුරටත් අදහස් දැක්වූ සමාජ සේවා අමාත්‍යවරයා පැවසුවේ,  පක්ෂ පාට ජාති ආගම් කුල භේද නොසලකා අපේ ආසනයේ සියලු දෙනාට ම එකසේ සලකනවා. ඒ අනුව ජා ඇළ ආසනයේ බෞද්ධ පුනරුදය උදෙසා  බෝධිමළු විහාරයට  පර්චස් 80ක්, දබුව පන්සලට පර්චස් 80ක්, නාරංගොඩ පාළුව වාහල්කඩ, ජයසුමනාරාමය සඳහා ලක්ෂ 75ක පුස්තකාලයක්, වල්පොල වැවේ සීමාමාලකයක්, පුජ්‍ය කළුගල සෝරත නාහිමියන් නමින් කාපට් කරන ලද පාරවල් දෙකක්  නම් කළ බවත්, ඒ වගේම කතෝලික ආගම අදහන ශ්‍රී ලාංකිකයකු වශයෙන් කතරගම කිරි වෙහෙරට හා මිරිසවැටිය චෛත්‍ය චුඩාමාණික්‍ය සඳහා විදුලි ආලෝකය ලබා දීමට හැකිවීම තමා ලද භාග්‍යක් ලෙස සලකන බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට විපක්ෂයේ මන්ත්‍රී ජෝසප් මයිකල් පෙරේරා, බස්නාහිර පළාත් සභාවේ පක්ෂ විපක්ෂ  මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු, ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු ජා ඇළ ආසනයේ සංවර්ධනය උදෙසා කැපවූ ප්‍රභූ පිරිසක් සහභාගී වූහ.

     ECB/RU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya