ඒ පසුගියදා පැවති වර්ගීකරණය කළ කසළ එකතුකිරීමේ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමකට එක්වෙමිනි.
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාගේ සංකල්පයක් අනුව, මේ මස 01දා සිට මහ නගර සභා බල ප්‍රදේශවල වර්ගීකරණය කළ කසළ පමණක් එකතුකිරීමේ වැඩසටහන ආරම්භ කෙරුණි. එහි අරමුණ වූයේ පරිසරයට එකතුවන කසළ ප්‍රමාණය අඩුකිරීම සහ නොදිරන කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීමයි.
ඒ අනුව, සෑම මහ නගර සභාවකම එකතු වන කසළ ප්‍රමාණය අඩු වී ඇති බවත්, පොලිතීන් සහ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය ආරම්භ කර ඇති බවත් නාගරික කොමසාරිස්වරුන් ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අනාවරණ කළ අතර වර්ගීකරණය කළ කසළ එකතුකිරීමේ වැඩසටහන මහ නගර සභාවල සියලු ම නිලධාරීන්ගේ සහය සාර්ථකව කරගෙන යන බවත් පෙන්වා දුන්නහ.
එමෙන්ම, වර්ගීකරණය කළ කසළ එකතුකිරීමේදී මහ නගර සභා මුහුණ පාන ගැටලු කිහිපයක් ද මෙම රැස්වීමේදී ඉදිරිපත් කෙරුණි. එනම්, සනීපාරක්ෂක කම්කරුවන් සහ කසළ එකතු කරන රථ වාහන ප්‍රමාණවත් නොවීම, පූජනීය ස්ථානවලින් සහ සුපිරි නිවාස සංකීර්ණවලින් වර්ගීකරණය කළ කසළ බැහැර නොකිරීම, ඇතැම් නිවාසවල වර්ගීකරණය කසළ බහාලුම් තබා ගැනීමට ඉඩ ප්‍රමාණවත් නොවීම ඇතුළු ගැටලු කිහිපයක් ඒ අතර වේ. කොන්ත්‍රාත් පදනම මත සනීපාරක්ෂක කම්කරුවන් බඳවාගැනීමටත්, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය මඟින් කසළ එකතු කරන රථ වාහන ලබාදීමටත්, අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා මෙම රැස්වීමේදී උපදෙස් දුන්නේය.
මීට අමතර ව කසළ වර්ගීකරණය පිළිබඳ ව පූජනීය ස්ථාන තවදුරටත් දැනුවත් කිරීමටත්, සුපිරි නිවාස සංකීර්ණ අසළ කසළ බඳුන් ස්ථාපනය කිරීමටත් යෝජනා වුණි.
එමෙන්ම, වර්ගීකරණය කළ කසළ එකතුකිරීමේ වැඩසටහනට උපරිම සහය ලබාගැනීම සඳහා සනීපාරක්ෂක කම්කරුවන් දිරිගැන්වීමට ඔවුන් වෙනුවෙන් සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස ෆයිසර් මුස්තෆා මහතා නාගරික කොමසාරිස්වරුන්ට උපදෙස් දුන්නේය.
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමට, අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා ඇතුළු නිලධාරීන්, දිවයිනේ සියලු ම මහ නගර සභාවල කොමසාරිස්වරුන් ඇතුළු නිලධාරීන්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් එක්ව සිටියහ.