නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආයුර්වේද වෛද්‍යවරුන් බටහිර ඖෂධ ලබාදීම නතර කළ යුතුයි - සෞඛ්‍ය ඇමැති

    නොවැම්බර් 21, 2016
    ඇතැම් ආයුර්වේද වෛද්‍යවරුන් බටහිර ඖෂධ ලබාදෙන බවට වාර්තා වන බවත් එම ක‍්‍රමය සමපුර්ණයෙන් නතර කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
     
    දේශිය වෛද්‍ය ක‍්‍රමයට ඉල්ලුමක් තිබෙන බැවින් දේශීය වෛද්‍ය ක‍්‍රමය නගාසිටුවීමට කටයුතු කරන්නැයි ද දේශීය වෛද්‍යවරු බටහිර වෛද්‍යවරුන්ට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු මෙන් ම ආයුර්වේද සභාව, දෙපාර්තමේන්තුව වර්තමානයට ගැළපෙන ආකාරයට නිර්මාණය කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ආයුර්වේද වෛද්‍ය සේවාවේ ප‍්‍රාථමික සේවය සඳහා වෛද්‍ය පත්වීම් 107ක් ලබාදීම වෙනුවෙන් නාවින්න බණ්ඩාරනායක වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දී පසුගියදා පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.
     
    " වකුගඩු රෝගය තුරන් කිරීමට දේශීය වෛද්‍ය ක‍්‍රමයට හැකියාව ඇති බව ඇතැමුන් ප‍්‍රකාශ කරනවා. අනාගතයට මෙම වෛද්‍ය ක‍්‍රමය ආරක්ෂා කර ගත යුතුයි. දේශීය වෛද්‍ය ක‍්‍රමය ගොඩනැංවීම සඳහා මීට ප‍්‍රථම උත්සාහයක නිරත වුයේ වී.ජ.මු ලෝකුබණ්ඩාර මහතා පමණයි. බටහිර වෛද්‍ය ක‍්‍රමයට සුවපත් කිරිමට නොහැකි රෝග දේශීය වෛද්‍ය ක‍්‍රමයට සුව කිරීමට පුළුවන්" බවත් පෙන්වා දුනි.
     
    "ආයුර්වේද උපාධිධාරින් 900 ක් මේ වනවිට වෛද්‍ය පත්වීම් ලබාගැනීමට සුදානමින් සිටිනවා. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන තිබෙනවා. නමුත් සුදුසුකම් ලත් උපාධිධාරින් සිටින්නේ 760ක් පමණයි. කැබිනට් අනුමැතියෙන් පසු කළමනාකරණ දෙපාර්තමේන්තුව මගින් පත්වීම් 270ක් පමණක් ලබාදීමට අනුමත කර තිබෙනවා. මම කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර සෙසු පිරිසටත් පත්වීම් ලබාදීමටත් අනුමැතිය ලබා ගෙන තිබෙනවා. ඉන් පසු ප‍්‍රජා සංවර්ධන වෛද්‍ය නිලධාරී සහ රෝහල් සඳහා පත්වීම් ලබාදෙනවා" යැයි ද පැවසීය.
     
    දේශීය වෛද්‍ය ක‍්‍රමය දියුණු  කිරීමේ අවශ්‍යතාවයක් තිබෙන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුනි.
     
    මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, ආයුර්වේද කොමසාරිස් ඩබ්.එච්. තිලකරත්න මහත්වරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු ඇතුලු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya