නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාන්තා ගෘහමූලික පවුල් නඟා සිටුවීමට ජාතික මධ්‍යස්ථානයක් කිලිනොච්චියට

    අප්‍රේල් 05, 2015

    කාන්තා ගෘහමූලික පවුල් නඟා සිටුවීම සඳහා ඇති ජාතික මධ්‍යස්ථානය කිලිනොච්චියේ පිහිටුවීමට රජය තීරණය කරයි. යුද්ධය හේතුවෙන් පවුලේ ස්වාමියා අහිමි වූ කාන්තාවන් වැඩි වශයෙන් සිටින්නේ කිලිනොච්චි ප්‍රදේශය ආශ්‍රිතව බැවින්, එහි මෙවැනි මධ්‍යස්ථානයක් පිහිටුවන ලෙස උතුරු ප්‍රදේශයේ ජනතාව කළ ඉල්ලීමකට අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම පියවර ගෙන ඇත.

     

    යුද්ධය නිසා වඩාත් අසරණභාවයට පත්වන්නේ කාන්තාවන් සහ දරුවන් බව අවිවාදිත කරුණකි. උතුරු ප්‍රදේශයේ පමණක් කාන්තා ගෘහමූලික පවුල් 50,000 කට ආසන්න සංඛ්‍යාවක් ඇත. කිසිදු ආදායම් මාර්ගයක් නොමැති වීමෙන් ආහාර පාන, දරුවන්ගේ අධ්‍යාපනය ආදි වූ මූලික අවශ්‍යතා පවා ඉටුකර ගත නොහැකිව ඔවුහු අසරණව සිටිති.

     

    ජීවනෝපාය සංවර්ධනය සඳහා ලබා දෙන රු. 35,000.00 ක මූලික ණය මුදල මෙම පවුල් නඟා සිටුවීමට කිසිසේත් ප්‍රමාණවත් නොවන අතර, එය දෛනික අවශ්‍යතා වෙනුවෙන් වැය වන බව ද අනාවරණය විය. මෙම කාන්තාවන්ට ණය ආධාර ලබා දීමට බැංකු පවා පසුබට වේ. එබැවින් ආදායම් උත්පාදන ක්‍රියාකාරකම් සඳහා වැඩි වශයෙන් උපකාර අවශ්‍ය වේ.

     

    නීති විරෝධී මත් පැන්, මත්ද්‍රව්‍ය පැතිර යාමත් සමඟ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය වර්ධනය වීම ද, ලිංගික බලහත්කාරයේ ගොදුරු වන්නට සිදු වීම ද ඔවුන් පෙළන බරපතල ගැටලුවකි. පොලිස් ස්ථානවල දෙමළ බස හැසිරවිය හැකි කාන්තා පොලිස් නිලධාරිනියන් අවම වීම නිසා මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම ද, නීතිමය රැකවරණ ලබා ගැනීම ද ගැටලුවක් වී ඇත.

     

    මෙම තත්ත්වය කෙරෙහි විශේෂ අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරයා  කිලිනොච්චියේ පිහිටුවන ජාතික මධ්‍යස්ථානය මෙම මානුෂීය ගැටලු සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට මූලික අඩිතාලම සකසනු ඇති බවට බලාපොරොත්තු පළ කළේය.

     

    කාන්තා ගෘහමූලික පවුල් මුහුණ දෙන ගැටලූ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත් කර ඇති වාර්තාව පදනම් කරගනිමින් එම පවුල්වල සමාජ ආර්ථික මට්ටම නඟා සිටුවීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍යතුමන් විසින් කමිටුවක් පත් කර ඇත. එහි සභාපතිනිය ලෙස නීතිඥ ශාන්තිනී අභිමානසිංහම් මහත්මිය කටයුතු කරනු ලැබේ.

     

    මේ සඳහා කාන්තා කටයුතු අමාත්‍යාංශයත්, ප්‍රතිපත්ති සැලසුම් ආර්ථික කටයුතු ළමා තරුණ සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයත් එක්ව ප්‍රතිපාදන ලබා දෙන අතර, නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය අවශ්‍ය සහය ලබා දෙනු ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya