මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹට මහවැලි ජලය හැරවීමේ වැඩසටහන අදියර දෙකක් යටතේ

    ඔක්තෝබර් 23, 2014

    වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් වයඹට මහවැලි ජලය හැරවීමේ වැඩසටහන නමින් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවත් එය අදියර 02ක් යටතේ ක්‍රියාත්මක කර ඇති බවත් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (23) පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද පිළිතුරක සඳහන් වේ.


    මේ බව සඳහන් වූයේ අද (23) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසිනි.

    නාලන්ද ජලාශය අලුත්වැඩියා කර එම ජලාශයේ වැඩිපුර ජල ප්‍රමාණයක් රඳවා ගැනීමට පියවර ගැනීමත්, එමඟින් වෑමැඬිල්ල ජලාශය හරහා දේවහූව පෝෂිත ඇළ ප්‍රයෝජනයට ගනිමින් හක්වටුනා ඔය හා මී ඔය ජල ධාරා ප්‍රදේශයේ ඉහළ කොටස සඳහා ජලය MCM 30ක් ලබා දීමත් අරමුණ වේ. මේ නිසා හක්වටුනා ඔය ජලාශය යටතේ යල මහ දෙකන්නයට වගා කිරීමට හැකියාව ලැබේ. හක්වටුනා ඔය හා මී ඔය ජල ධාරා ප්‍රදේශයේ ඉහළ කොටස තුළ කුඩා වැව් 150ක් යොදා ගනිමින් කන්න දෙකෙහි ම වගා කිරීමට ද අවස්ථාව ලැබෙනු ඇත.

    මේ ජල සැපයුම ඵලදායී ලෙස ඉටුකිරීම සඳහා කහල්ල, පල්ලෙකැලේ රක්ෂිතය තුළ මහකිරුළ හා මහකිතුල යන මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 02ක් තැනීමට ද යෝජිත බව එහි සඳහන් වේ.

    මෙහි දෙවන අදියර යටතේ මොරගහකන්ද - කළුගඟ ජලාශයේ ගබඩා වන ජලයේ කොටසක් යෝජිත ඉහළ ඇළහැර ඇළ මාර්ගය ඔස්සේ හුරුළු වැව, නාච්ච දූව වැනි වැව්වලට මුදාහැරිය හැකි නිසා බෝවතැන්න ජලාශය මඟින් මේ වැව්වල ජලය සීමා කිරීමට හැකි වේ. එසේ සීමා කරන ජලය MCM 100ක් දඹුලු ඔය හරහා ඉදිකරන ලද අමුණක් මඟින් වෑමැඬිල්ල ජලාශයටත්, 01 වන අදියරේ සඳහන් වන පරිදි ජලය MCM 100ක් හක්වටුනා ඔය හා මී ඔය ද්‍රෝණියටත් ලබා දීමට සැලසුම් කර ඇත. මේ නිසා හක්වටුනා ඔය හා මී ඔය පහළ ද්‍රෝණියේ පහළ ප්‍රදේශයේ කුඩා වැව් 200ක් යල මහ කන්න දෙකේ ම වගා කිරීමට අපේක්ෂා කෙරේ.

    මේ වන විට වෑමැඬිල්ල ජලාශය හැදීම ආරම්භ කර ඇත. නාලන්දා ජලාශයේ වැව් බැම්ම ශක්තිමත් කිරීම, එම ජලාශයේ වැඩිපුර ජල ප්‍රමාණයක් වෑමැඬිල්ල හරහා නිකුත් කිරීමට හැකි ක්‍රමවේදයක් සකස් කිරීමේ වැඩපිළිවෙළෙහි 80%ක් පමණ නිමකිරීම, මොරගහකන්ද හා කළුගඟ ජලාශ වැඩ ඵලදායී ලෙස කරගෙන යාම සිදු වේ. ඉහළ ඇළහැර මාර්ගය තැනීම සඳහා සැලසුම් සකස් කිරීම නිමකර ඇති අතර එම වැඩ කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමට අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වන විට කර ගෙන යන අතර මහකිරුළ හා මහකිතුල ජලාශ දක්වා වූ ඇළ මාර්ග ඉදිකිරීමට අවශ්‍ය කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ද කරගෙන යන බව එම පිළිතුරෙහි සඳහන් වේ. ඉහත කටයුතු සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු, නැවත පදිංචි කිරීමේ කටයුතු ක්‍රියාත්මක කර ඇති අතර පාරිසරික අධ්‍යයන කටයුතු ද දැන් නිම වෙමින් පවතින බව එහි සඳහන් වේ.

    වයඹ ජලය හැරවීමේ ව්‍යාපෘතියේ සියලු ම වැඩ සඳහා අවශ්‍ය මුදල් ආසියානු සංවර්ධන බැංකුව මඟින් ලබා දෙන අතර එම මුදල ඇමරිකානු ඩොලර් මිලියන 550කි.

    මොරගහකන්ද ජලාශය සඳහා චීන ණය ආධාරත්, කළු ගඟ ජලාශය සඳහා සවුදි, කුවෙට් හා ඔපෙක් අරමුදල මඟින් ණය ආධාරත්, මෙරට රජයත් ලබා දෙනු ඇත.

    මෙහි අදියර 01 ව්‍යාපෘතිය 2017 වසර අවසානයේත් අදියර 02හි වැඩ 2020දීත් අවසන් කිරීමට සැලසුම් කර ඇත. මේ සියලු ම කටයුතු අවසන් කිරීමට ගත වන කාලය 2024 ලෙස ආසියානු සංවර්ධන බැංකුව ඇස්තමේන්තු කර ඇතත් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය 2020 වන විට එම ව්‍යාපෘතිය නිම කිරීමට කටයුතු කරමින් සිටින බව ද පිළිතුරෙහි සඳහන් වේ.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya