අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 03කට පසු දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය ලෙස රුපියල් මිලියන 11,250ක්

    දෙසැම්බර් 21, 2023

    වසර 03කට පසුව මෙවර අයවැය මඟින් රුපියල් මිලියන 11,250ක් දිස්ත්‍රික් විමධ්‍යගත අය වැය ලෙස වෙන් කර ඇති බවත්, එම මුදල් එළැඹෙන ජනවාරි මාසයේදී සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මුදාහරින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් සමඟ අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡවේදීය.
    රට මුහුණදුන් ආර්ථික අර්බුදය සහ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසර 03ක කාලයක් දිස්ත්‍රික්ක සඳහා විමධ්‍යගත අයවැය ලබා නොදීම හේතුවෙන් ග්‍රාමීය ආර්ථිකය මෙන්ම සංචාරක කර්මාන්තය ඇතුළු බිම් මට්ටමේ ව්‍යාපෘති කඩා වැටීමකට ලක් වූ බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    එම ව්‍යාපෘති නැවත කඩිනම් කර ග්‍රාමීය ජනතාවට ප්‍රතිලාභ ලබාදීම රජයේ අරමුණ බව පැවසූ ජනාධිපතිවරයා ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් සියලු සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන ලෙස දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට උපදෙස් දුන්නේය.

    සංවර්ධන කාර්යයේදී මධ්‍යම රජය සහ පළාත් සභා ලෙස බෙදී වෙන් නොවී සියලුදෙනා එකම වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
    2024 අයවැය ක්‍රියාත්මක කිරීමේ දී ඒ ඒ දිස්ත්‍රික්ක අනුව සංවර්ධන අරමුදල් බෙදී යාම සම්බන්ධයෙන් මෙහිදී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් දැනුවත් කෙරිණි.

    ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දෙන උරුමය වැඩසටහන සහ කෘෂිකර්ම නවීකරණ වැඩසටහන සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන් කර ඇති බවත් අනෙකුත් ව්‍යාපෘතිවලට සමගාමීව මෙය ප්‍රධාන ව්‍යාපෘති දෙකක් ලෙස හඳුනාගනිමින් ජනාධිපති කාර්යාලයේ සෘජු මැදිහත්විම යටතේ ක්‍රියාත්මක වන බවත් මෙහිදී සඳහන් කෙරිණි.

    දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
    වැඩිදුරටත් මෙසේද පැවසීය.

    වසර 03ක් රජයේ ප්‍රාග්ධන වියදම් සිදු කෙරුණේ නැහැ. මධ්‍යම රජයේ පමණක් නොවෙයි පළාත් සභා සියල්ලෙම කටයුතු නතර වුණා. මේ හේතුවෙන් ගමේ ආර්ථිකය විශාල කඩාවැටීමකට ලක් වුණා. ගම් මට්ටමේ ව්‍යාපාර ගණනාවක් බිඳ වැටුණා. ඒ වගේම සංචාරක කර්මාන්තය කඩාවැටීම නිසා තවත් හානියක් සිදු වුණා.

    දිස්ත්‍රික් මට්ටමින් සහ ග්‍රාමීය මට්ටමින් ආර්ථිකය නඟා සිටුවීමේ වැඩපිළිවෙළ අප දැන් ආරම්භ කර තිබෙනවා.
    බිම් මට්ටමේ ආර්ථිකය නැවත නගා සිටුවිය යුතුයි. අප මෙවර විමධ්‍යගත අය වැය ලෙස විශාල මුදලක් වෙන් කර තිබෙනවා. එම ප්‍රතිපාදන සෑම දිස්ත්‍රික්කයකටම ලබා දෙනවා. ප්‍රාදේශීය කොට්ඨාස මට්ටමින් නියෝජිතයන් සමග සාකච්ඡා කර එම සංවර්ධන කටයුතු පිළිබඳ යෝජනා ලබාගත යුතුයි.

    එක් එක් දිස්ත්‍රික්ක සඳහා ලබාදුන් මුදල්වලට අමතරව කඳුරට ප්‍රදේශවලට තවත් වැඩිපුර මුදලක් ලැබෙනවා. තවත් වසර 05ක් 06ක් යන තෙක් කදුරට ප්‍රදේශවල සංවර්ධනය සඳහා එම මුදල් ලබා දීමට අප අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම මෙය වෙන් කර තිබෙන්නේ කඳුරට ප්‍රදේශයේ නොදියුණු සිංහල හා ද්‍රවිඩ ගම්මාන දියුණු කිරීම සදහායි.

    ඊට අමතරව පළාත් සභාවලට වෙන් කර තිබෙන මුදල් තිබෙනවා. ඒ වගේම අමාත්‍යාංශවලට වෙන් කර තිබෙන ප්‍රාග්ධන මුදල් තිබෙනවා. ඒ වගේම විදේශ ආධාර මත ක්‍රියාත්මක වන ව්‍යාපෘති ගණනාවක් තිබෙනවා. මෙම ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා වූ බාධක ඉවත් කර බිම් මට්ටමේන් පහසුකම් සලසා දිය යුතුයි.

    වසර 03ක් අතපසු වූ සංවර්ධන කටයුතු එක්වර ආරම්භ කිරීම පහසු කටයුත්තක් නොවෙයි. ඒ වගේම විදේශ ණය සහන යටතේ සිදු කෙරෙන ව්‍යාපෘති ගණනාවක් නැවත ආරම්භ කිරීමට තිබෙනවා. මේවා එකවර ආරම්භ කළ ඒවා නොවෙයි. වසර 05ක්, 06ක් පුරා සිදු කෙරුණු කටයුතු. නමුත් අපට මෙම සියල්ල එකවර ආරම්භ කිරීමට සිදුව තිබෙනවා. මෙම කටයුතු සඳහා සියලු නිලධාරීන්ගේ සහාය අවශ්‍යයි. ඒ වගේම මන්ත්‍රීවරුන්ගේ සහ දේශපාලන නියෝජිතයන්ගේ අදහස් සහ යෝජනා අවශ්‍යයි.

    මෙහිදී සෑම පළාතකම ප්‍රධාන ලේකම්වරයා, දිස්ත්‍රික් ලේකම්වරුන්, මධ්‍යම ආණ්ඩුවේ නිලධාරීන් සමග සම්බන්ධීකරණයෙන් යුතුව එකම කණ්ඩායමක් ලෙස කටයුතු කළයුතුයි.
    ඒ වගේම ආණ්ඩුකාරවරයා, ප්‍රධාන ලේකම්වරයා, නව පළාත් කමිටුවේ සභාපතිවරුන් සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල සභාපතිවරුන් එක්වි මාසිකව මෙම කටයුතු අධීක්ෂණය කළයුතුයි.
    මෙම සියලු කටයුතුවල අවසාන පරමාර්ථය වන්නේ ගමේ ජනතාවට මෙහි වාසිය ලබාදීමයි. ගමට මුදල් ලැබෙන ලෙස මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළයුතුයි. රටේ ආර්ථිකය නගා සිටුවන අතරම ගමේ ආර්ථිකය ද අප ඉහළ නැංවිය යුතුයි.

    ඒ වගේම කෘෂි නවීකරණ වැඩසටහන සමග ඊළග වසර දෙක තුළ කෘෂි නිෂ්පාදන ඉහළ යනවා. කෘෂි නිෂ්පාදන වැඩිකර තරගකාරී කෘෂිකර්මාන්තයක් ඇති කිරීම අපගේ අරමුණ වන අතර එහි මධ්‍ය කාලීන වාසිය ගමේ ආර්ථිකයට ලබා දිය යුතුයි.

    ඒ නිසා ගමේ ආර්ථිකය පිළිබඳ අවධානය යොමු කරමින් මෙම සියලු කටයුතු ක්‍රියාත්මක කිරීම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල සභාපතිවරුන්ට පැවරෙනවා.
    මෙහිදී විසදාගත නොහැකි ගැටළු තිබෙනම් ඒවා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පත් කර තිබෙන කමිටුවට ඉදිරිපත් කර විසදුම් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. එසේත් නොහැකි වූ අවස්ථාවක එම ගැටළු මා කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.

    ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා
    ගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව අමාත්‍ය මණ්ඩලය සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මෙම විමධ්‍යගත අයවැය බෙදාදීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කළා. මෙම කටයුතු සම්බන්ධීකරණය සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කළා.

    ඉතා විනිවිදභාවයෙන් යුතුව ජනතාවගේ අවශ්‍යතාව පරිදි ක්‍රියාත්මක කළ යුතු ප්‍රමුඛ ව්‍යාපෘති හඳුනා ගැනීමට ජනාධිපතිතුමාට අවශ්‍ය වී තිබෙනවා. ඒ පිළිබඳ කෙටුම්පතක්ද මේ වන විට සකස් කර තිබෙන අතර තාක්ෂණ කරුණු පිළිබඳ එහි හොදින් කරුණු පැහැදිළි කර තිබෙනවා. මෙම වැඩකටයුතු ක්‍රියාත්මක කළයුතු ක්‍රමවේදය පිළිබඳව අප සාකච්ඡා කර වැඩපිළිවෙළක් සකස් කරගත යුතුයි.

    මෙහිදී එක් වැඩපිළිවෙළක් ඔස්සේ සියලුදෙනා කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වෙනවා. පළාත් සභා ද ඊට අනුගත විය යුතුයි. එහිදී පළාත් කමිටු සක්‍රීයව කටයුතු කළයුතු අතර එහි උපරිම ප්‍රයෝජන ගෙන දිස්ත්‍රික්ක මට්ටට ගොස් අනතුරුව ග්‍රාමීය මට්ටමින් මෙම වැඩපිළිවෙළ ගමට ගෙන යා හැකියි.

    මුදල් අමාත්‍යාංශයේ, ජාතික සැලසුම් දෙපාර්තමේන්තවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. ඒ කුමාරසිරි මහතා

    2024 අය වැය ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ දී ගරු ජනාධිපතිතුමා දිස්ත්‍රික්ක සඳහා රුපියල් මිලියන 11,250ක් වෙන් කළා. රටේ පැවති ආර්ථික ගැටලු සහ කොවිඩ් වසංගතය නිසා වසර 03ක් විමධ්‍යගත අය වැය ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිසා මේ වසරේ විමධ්‍යගත අය වැය ලෙස විශාල මුදලක් වෙන් කර තිබෙනවා. ඒ සඳහා අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සහ නිලධාරී මට්ටමින් පැවති සාකච්ඡාවලදී ලැබුණු උපදෙස් අනුව කෙටුම්පතක් සකසා තිබෙනවා. එය අද තවදුරටත් සාකච්ඡා කර එළැඹෙන ජනවාරි මාසයේ මුල් සතියේම එය දිස්ත්‍රික් ලේකම්වරුන්ට යොමු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

    දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී මෙම ව්‍යාපෘති අනුමත කර ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවට ලැබුණු පසු ජනාධිපති කාර්යාලය හරහා එම අවශ්‍ය ප්‍රතිපාදන දිස්ත්‍රික්කවලට කඩිනමින් නිකුත් කිරීම අපේක්ෂාවයි.
    ඒ වගේම ප්‍රාදේශීය සහ ග්‍රාමීට මට්ටමින් ක්‍රියාත්මක වූ කුඩා ව්‍යාපෘති ගණනාවක් අතරමග නැවති තිබෙනවා. එම ව්‍යාපෘතිවලට ප්‍රමුඛතාව ලබාදී ඒවා කඩිනමින් අවසන් කර ජනතාවට එම ප්‍රතිලාභ ලබාදීම අරමුණයි.

    ඒ සමගම කුඩා පරිමාණයේ ජල යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරිම, කුඩා ප්‍රමාණයේ විදුලි සබදතා දීර්ඝ කිරීම, රජයේ ආයතන හා ආගමික මධ්‍යස්ථාවල සූර්ය පැනල සවි කිරීම වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබෙනවා. මෙම කටයුතුවලින් ග්‍රාමීය ආර්ථිකයට විශාල වාසියක් ලැබෙනවා. ඒ වගේම පළාත් හා ග්‍රාමීය කුඩා මාර්ග සහ වතු ප්‍රදේශවල කුඩා පාලම් සහ මාර්ග මෙම වසර තුළ නිම කළ හැකි ව්‍යපෘති ලෙස හඳුනාගෙන තිබෙනවා.

    ඒ වගේම,ප්‍රාථමික සහ ද්විතීක මට්ටමේ පාසල් දියුණු කිරීම,පාසල් හා ආගමික ස්ථාන සංවර්ධනය කිරීම, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය,සතුන්ගෙන් වන හානි අවම කිරීම, අඩු ආදායම්ලාභී පවුල් නගා සිටුවීම වැනි ග්‍රාමීය ආර්ථිකය නගා සිටූවීමේ ව්‍යාපෘති අප ප්‍රධාන වශයෙන් යෝජනා කර තිබෙනවා.

    සියලුම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ද, පළාත් ආණ්ඩුකාරවරුන් සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග යන මහත්වරුන් ද දිස්ත්‍රික් ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු ඇතුළු නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya