මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉතිහාසය විෂය පාසල්වල ඉගැන්වීම මව්භාෂාවෙන් පමණයි

    සැප්තැම්බර් 24, 2014

    2009 වසරේ සිට 6 ශ්‍රේණියේ සිට ඉතිහාසය විෂය පාසල්වල ඉගැන්වීම සඳහා මව්භාෂාව එනම් සිංහල හෝ දෙමළ මාධ්‍ය පමණක් යොදා ගත යුතු බවට චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (24) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

     

    ඉතිහාසය විෂය පාසල් විෂය නිර්දේශයෙන් අතුගා දැමූ යුගයක අතිගරු ජනාධිපතිතුමා 2006 දී ඉතිහාසය විෂය නිර්දේශයට ඇතුළත් කළ යුතු බවටත් එය හර විෂයක් ලෙස රටේ දරුවන්ට ඉගැන්විය යුතු බවටත් අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් දුන්නා. ඒ උපදෙස් පරිදි මෙය ක්‍රියාත්මක කර ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.


    දරුවන්ට රටේ ඉතිහාසය ඉගැන්වීම ඉතා වැදගත් නිසා රටේ අභිමානය දරුවන්ට ඉගැන්විය යුත්තේ මව්භාෂාවෙනි. ඉතිහාසය රටේ සංස්කෘතිය හා සම්බන්ධ නිසා රට, ජාතිය, ආගම ගැන ආදරයක් දරුවන්ගේ හිතේ කාවැද්දිය හැක්කේ මව්භාෂාවෙන් පමණක් ඉගැන්වීමෙන් පමණි. ඉංග්‍රීසි දෙවන භාෂාව බව ද ඔහු අවධාරණය කළේය.

    වෙනත් භාෂාවකින් ඉතිහාසයේ මූලයන් ඉගෙන ගැනීම අපහසුයි. තායිලන්තය, ජපානය, මැලේසියාව, කොරියාව වැනි රටවලත් ඉතිහාසය, ආගම වැනි භාෂාවන් උගන්වන්නේ මව්භාෂාවෙනි. මේවා සංවේදී විෂයයන් නිසා මව්භාෂාවෙන් පමණක් ඉගැන්විය යුතු බවට ජාත්‍යන්තර පර්යේෂණ මඟින් ද තහවුරු කර ඇත. රටේ ප්‍රාථමික අධ්‍යාපනය මව්භාෂාවෙන් සකස් විය යුතුයි. මහින්ද චින්තන ඉදිරි දැක්මේ මව්භාෂාව සුරක්ෂිත කරන බවට තහවුරු කර ඇත. ඒ නිසා මව්භාෂාවෙන් හැර වෙනත් භාෂාවකින් ඉතිහාසය උගන්වන්නේ නැති බව ද ඔහු අවධාරණයෙන් පැවසීය.

    සියලුම ජාතික පාසල්වල මව්භාෂාව, ආගම හා ඉතිහාසය ඉගැන්විය යුතු බවට කැබිනට් තීරණයක් ගෙන ඇත්තේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවයි. එජාපයේ ජාතික ප්‍රතිපත්තිය මඟින් කරන්න යන්නේ මව්භාෂාව අහෝසි කර සුළු පිරිසකගේ වුවමනාවට ඉතිහාසයත් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීමට බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya