මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගය මේ යුගයයි

    සැප්තැම්බර් 23, 2014

    වසර 18කට පසු කර්මාන්ත සංවර්ධන පනත් ස්ථාපිත කරන්න අවස්ථාව ලැබෙන බවත් රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගය මේ යුගය බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (23) පාර්ලිමේන්තුවේදි ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය ආරම්භ කරමිනි.

     

    අතීතය දෙස බැලූ විට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ 5%ක වර්ධනයක් තිබුණත් 2013 වර්ෂයේදී දළ ජාතික නිෂ්පාදිතයට ඉදිකිරීම් ක්ෂේත්‍රයෙන් ලබාදුන් දායකත්වය 8.6%කි. මීට පෙර වර්ෂ සමඟ සසඳා බැලුවොත් මෙය සුවිශාල වර්ධනයක්. ඒ වගේ ම 2014 වර්ෂයේ පළවන කාර්තුවේදී ඒ තත්ත්වය 9.7%ක් දක්වා වර්ධනය වී  තිබෙනවා. මෙය රටේ ආර්ථිකය ඇතුළේ විශාල භූමිකාවක් සිදු කරමින් පවතී. මේ ශීඝ්‍ර වර්ධනයත් සමඟ මේ ක්ෂේත්‍රයේ කිසියම් නියාමනයක් පාලනයක් ඇති කිරීම අනිවාර්ය සාධකයක් වී තිබෙනවා. මේ ක්ෂේත්‍රය ප්‍රමිතියෙන් ඉහළ දමන්න රජයක් ලෙස අවධානය යොමු විය. ඒ අනුව පෙර පැවති පනත අරගෙන යළි අධ්‍යයනය කර විවිධ විද්වතුන්, වෘත්තිකයන්, කොන්ත්‍රාත්කරුවන් සමඟ සාකච්ඡා කරලා දීර්ඝ ක්‍රියාවලියකින් පසුවයි අපට මේ පනත පාර්ලිමේන්තුවට ගේන්න පුළුවන් වුණේ යැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    පෙර පනතට වඩා බොහෝ කරුණු මෙහි ඇතුළත් කර තිබේ. සාමයෙන් පසු ගම්මානවල යටිතල පහසුකම් නැංවීමට රජය කටයුතු කරමින් සිටී. මේවායේ ගුණාත්මක තත්ත්වය ඇති කරන්න අවශ්‍යයි. මේ සඳහා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිටින අයට NVQ  සහතිකය දෙන්න මේ පනතේ ඇතුළත් කර තිබේ. මේ ක්ෂේත්‍රයේ සියලුම කොටස් ලියාපදිංචි කිරීම විධිමත් කිරීම, ප්‍රමිතිගත කිරීම, ජාතික උපදේශක සභාවක් පිහිටවීම, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියක් පිහිටුවීම, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අරමුදලක් පිහිටුවීම, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය වෙනුවෙන් වෙනමම අරමුදලක් ස්ථාපිත කිරීම මෙහි ඇතුළත් බව ද ඔහු සඳහන් කළේය.

     

    ඉදිකිරීම් කර්මාන්තය සඳහා තොරතුරු පද්ධතියක් හා තොරතුරු ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීම ඒ අනුව මේ තුළින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියැළී සිටින දේශීය හා විදේශීය ශිල්පීන්, වෘත්තිකයන් හා කොන්ත්‍රාත්කරුවන් පිළිබඳ නිවැරදි දත්ත ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඉදිකිරීම් ශිල්පීන් විධිමත්ව ලියාපදිංචි කිරීම හා ඒ අනුව ඔවුන්ට නිල හැඳුනුම්පත් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ ඉදිකිරීම් ශිල්පින් සම්බන්ධයෙන් ඔවුන්ව යටපත් කරන ඉදිකිරීම් ශිල්පීන් සඳහා රක්ෂණ හා විශ්‍රාම අරමුදලක් පිහිටුවීමත් මෙහි යෝජනා කළා. පර්යේෂණ අඩු වියදම් තාක්ෂණය හා නිර්මාණශීලී පරිසර හිතවාදී තාක්ෂණික ක්‍රමවේද සඳහා පර්යේෂණ දියත් කිරීම සඳහා විධිවිධාන පනවා ඇති මේ පනතේ ඉදිකිරීම් සංවර්ධන අරමුදලින් මුදල් වැය කළ යුතු ආකාරය පිළිබඳවත් කරුණු ඉදිරිපත් කර තියෙනවා. පර්යේෂණ සඳහා අරමුදලින් 5%ක් වෙන් කර ඇත. පර්යේෂණ සංස්කෘතියක් මේ ක්ෂේත්‍රයේ නැහැ. දේශගුණයට නොගැළපෙන ඉදිකිරීම් අප කර ගෙන යනවා. ඒ නිසා පර්යේෂණයක අවශ්‍යතාවක් පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya