මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිතුරෙකු වශයෙන් ජාත්‍යන්තර සංසදවලදී ජපානය දැක් වූ අවබෝධය ගැන ජනපති ස්තුතිය පළ කරයි

    සැප්තැම්බර් 07, 2014

    ශ‍්‍රී ලංකාව හා සම්බන්ධ ගැටලුකාරී අවස්ථාවලදී ජාත්‍යන්තර සංසදවලදී ජපානය විශ්වසනීය පාර්ශවයක් හා මිතුරෙකු ලෙස ඉටු කර ඇති කාර්යභාරය පිළිබඳව ජපානයට තම කෘතඥතාව ප‍්‍රකාශ කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි.


    සාමය හා ප‍්‍රතිසන්ධානය තවදුරටත් තහවුරු කිරීම උදෙසා ශී‍්‍ර ලංකාව අත් කර ගත් සුවිශේෂ ප‍්‍රගතිය පිළිගැනීම සමහර බාහිර කොටස් ප‍්‍රතික්ෂේප කරමින් සිටීම කනගාටුදායක බව ද ජනාධිපතිතුමා පෙන්වාදෙයි.


    අද (07) පස්වරුවේ ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා හමුවු අවස්ථාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.


    පුවත්පත් සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් කරන ලද ප‍්‍රකාශය
     

    ජපාන අග‍්‍රාමාත්‍ය ගරු ෂින්සෝ අබේ මැතිතුමා සහ එතුමාගේ නියෝජිත කණ්ඩායම පිළිගනු ලබන්නේ ඉමහත් සතුටිනි. මෙම සංචාරය, ඇත්ත වශයෙන් ම, අප ද්විපාර්ශ්වික සබඳතාවල ඓතිහාසික හා සුවිශේෂී සන්ධිස්ථානයක් වෙයි.


    ගරු ෂින්සො අබේ මැතිතුමාගේ සීයා වන, 1957 වසරේදී ජපානයේ අග‍්‍රාමාත්‍යවරයා වූ දිවංගත ගරු නොබුසුකේ කිෂි මැතිතුමාගේ ශ‍්‍රී ලංකා සංචාරය එනම්, ජපාන අග‍්‍රාමාත්‍යවරයෙකු ශ‍්‍රී ලංකාවේ නියැළුණු පළමු නිල සංචාරය මට සිහිපත් වෙයි.


    ජපානය හා ශ‍්‍රී ලංකාව, අපගේ පොදු ආසියානු අනන්‍යතාව හා කැපී පෙනෙන දැඩි පාර්ශ්වකාරිත්වය පදනම් කරගනිමින්, පරම්පරා ගණනාවක් පුරා මිත‍්‍රත්වයේ දැඩි බැඳීම් තහවුරු කරන, සමීප මිත‍්‍ර සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබේ.


    විශාල යටිතල පහසුකම් ව්‍යාපෘති සංවර්ධනය, නිල සංවර්ධන සහය, නාවික හා මුහුදු ක්ෂේත‍්‍රයේ පාර්ශ්වකාරත්වය සහ දෙරටේ ජනතාව අතර සබඳතා ප‍්‍රවර්ධනය කිරීම සාකච්ඡාවලදී අවධාරණය කළ විෂයයන් සමහරක් විය. ශ‍්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ අභිවෘද්ධිය උදෙසා දායකත්වයක් ලබාදෙන, භෞමික රූපවාහිනී විකාශන ව්‍යාපෘතිය ඩිජිටලීකරණය හා සම්බන්ධ ණය ගිවිසුම පිළිබඳ ව, ශ‍්‍රී ලංකාව හා ජපානය සටහන් හුවමාරු කරගත්හ. ද්විපාර්ශ්වික
    වෙළෙඳාම, ආයෝජන හා ආර්ථික කටයුතු වර්ධනය කිරීමේ අරමුණින් අත්සන් තබන ලද අන්තර් ආණ්ඩු ආර්ථික ප‍්‍රතිපත්ති සංවාදය පණගැන්වීම සඳහා වන සහයෝගිතා සන්දේශය පිළිබඳ ව මෙන් ම, කෘෂිකර්මය සහ විද්‍යාව, තාක්ෂණය සහ නව්‍යකරණය පිළිබඳ සහයෝගිතා සන්දේශය සහ සංකල්ප ලිපිය සම්බන්ධයෙන් අපි සතුට ප‍්‍රකාශ කර සිටින්නෙමු.


    අප දිගුකාලීන මිතුරන් වන භෙයින්, අපගේ ද්විපාර්ශ්වික දේශපාලන සබඳතා පිළිබඳව හිතවත් හා සුහදශීලී ආකාරයෙන් සාකච්ඡා කළෙමු. සාමයේ සහ ස්ථායිතාවයේ ඵල නෙළාගැනීම සඳහා සහ අප ජනතාවගේ යහපත උදෙසා, ශ‍්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන න්‍යායපත‍්‍රය සමඟ දිගින්දිගට ම කටයුතු කරගෙන යාම සඳහා, අප තුළ ඇති ඇපකැපවීම පිළිබඳ ව ජපාන අග‍්‍රාමාත්‍යවරයාව දැනුවත් කෙරීය.


    දැනට පවත්නා සාමය සහ ස්ථායිතාව තවදුරටත් තහවුරු කිරීම සඳහා, අපි ස්ථිර වශයෙන්, අඛණ්ඩව හා වැඩිවැඩියෙන් ජාතික ප‍්‍රතිසන්ධාන ප‍්‍රයත්න යොදන්නෙමු. අප පසුබට කරවන අභියෝග හමුවේ දුෂ්කර තීරණ රාශියක් ගෙන ඇත්තෙමු. ශ‍්‍රී ලංකාවේ ස්ථාපනය කොට ඇති දේශීය ප‍්‍රතිසන්ධාන යාන්ත‍්‍රණයන් වැදගත් ප‍්‍රතිඵල අත්කරගෙන තිබේ. ශ‍්‍රී ලංකාව හා සම්බන්ධ ගැටලුකාරී අවස්ථාවල දී ජාත්‍යන්තර සංසදවලදී ජපානය විශ්වාසදායී පාර්ශ්වයක් හා මිතුරෙකු ලෙස ඉටුකර ඇති
    කාර්යභාරය පිළිබඳව මම මෙහිදී කෘතඥතාව ප‍්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මේ සම්බන්ධයෙන්, සාමය ගොඩනැගීම, පුනරුත්ථාපනය සහ නැවත ගොඩනැගීම සඳහා ජපානයේ විශේෂ නියෝජිතයා ලෙස තානාපති යසුෂි අකාෂි මහතා විසින් ඉටුකරන ලද ඵලදායී කාර්යභාරය අවධාරණයට හා ප‍්‍රසංශාවට ලක් කළ යුතුය. මෙය අන්‍යෝන්‍ය අවබෝධය හා විශ්වාසය මත සිදුවූවක්.


    ශ‍්‍රී ලංකාව නිරන්තරයෙන් ම ජාත්‍යන්තර ප‍්‍රජාව සමඟ කටයුතු කර තිබෙන අතර, අවංකව හා අන්‍යෝන්‍ය වශයෙන් ගරු කිරීම් හා, විනිවිදභාවයෙන් යුත් පසුබිමක් යටතේ සංවාදයක් පවත්වා තිබේ.


    සාමය හා ප‍්‍රතිසන්ධානය තවදුරටත් තහවුරු කිරීම උදෙසා, ශ‍්‍රී ලංකාව අත්කරගත් සුවිශේෂී ප‍්‍රගතිය පිළිගැනීම සමහර බාහිර කොටස් ප‍්‍රතික්ෂේප කරමින් සිටීම කනගාටුදායකය. ශ‍්‍රී ලංකාව අභියෝග රැසකට මුහුණදී ඇති අවස්ථාවක ශ‍්‍රී ලංකාව සහ එහි ජනතාව වෙත දැක් වූ සහය, අවබෝධය, සහයෝගිතාව සහ මිත‍්‍රත්වය වෙනුවෙන් ජපානය වෙත මාගේ අවංක ස්තුතිය හා ප‍්‍රසංශාව පුදකර සිටිමි.


    2014 සැප්තැම්බර් 07 වැනි දින

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya