මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපන් අගමැතිතුමාට පාර්ලිමේන්තුවේ පිළිගැනීමේ උත්සවයක්

    සැප්තැම්බර් 07, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම) අද දිවයිනට පැමිණි ජපන් රජයේ අග්‍රාමාත්‍ය, ෂින්සෝ අබෙ මැතිතුමා අද (07) පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණියේය.

     

    පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ කතානායක චමල් රාජපක්ෂ මහතා විසින් එතුමා මහත් හරසරින් යුතු ව පිළිගන්නා ලද අතර කතානායකවරයා හා පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක සහ ප්‍රධාන වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහත්වරුන් විසින් පාර්ලිමේන්තු පිවිසුමේ සිට රතුපලස් මතින් අබෙ මැතිතුමා පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත කැඳවා ගෙන එනු ලැබීය.

     

    පාර්ලිමේන්තු සභා ගර්භය වෙත කැඳවාගෙන යාමෙන් අනතුරු ව අබෙ මැතිතුමා ඇතුළු පිරිසට පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායයන් හා විශේෂාංග පිළිබඳ පැහැදිලි කර දෙනු ලැබීය.

     

    ෂින්සෝ අබෙ මැතිතුමා වෙනුවෙන් පැවති පිළිගැනීමේ කෙටි උත්සවය පාර්ලිමේන්තු මන්ත්‍රී භෝජනාගාරයේ දී පැවැත්විණි. එහිදී ෂින්සෝ අබෙ මැතිතුමා පිළිගැනීමේ කථාව කථානායකතුමා විසින් පවත්වන ලද අතර අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මැතිතුමා ද එහිදී උත්සවය අමතන ලදී.

     

    ඉතිහාසය පුරා ශ්‍රී ලංකාව හා ජපානය අතර පවතින දැඩි මිත්‍ර සම්බන්ධතා සිහිපත් කළ අබේ මැතිතුමා ජපානය වසර කිහිපයකට පෙර සුනාමි ව්‍යසනයකට පත් වූ අවස්ථාවේ ශ්‍රී ලංකාව මිත්‍රත්වයේ දෑත් දිගුකරමින් දුන් සහයෝගය සිහිපත් කළේය. වසර 63ක් තිස්සේ පවතින දෙරට අතර සබඳතා සිහිපත් කරමින් සිය කතාව පැවැත් වූ අබේ මැතිතුමා නොකඩවා ශ්‍රී ලංකාවට ජපානයේ ආධාර සහ සහයෝගය ලබාදෙන බව ද පැවසීය.

     

    එහිදී අදහස් දැක්වූ ෂින්සෝ අබෙ මැතිතුමා මෙසේ ද පැවසීය,


    "අවුරුදු 3කට පෙර ජපානය විශාල භූමිකම්පාවකින් හා සුනාමියකින් පීඩාවට පත් වූ විට ශ්‍රී ලංකා රජය හා ජනතාව ලබා දුන් සිය කාරුණික සහය හා සහනශීලි වදන් සඳහා ජපන් ප්‍රජාව හා රජය වෙනුවෙන් ස්තූතිය ප්‍රකාශ කරන්නට මෙය අවස්ථාවක් කරගන්නවා.


    වසර 63කට පෙර එවකට ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දිවංගත ජේ.ආර්. ජයවර්ධනයන් සැන්ෆ්‍රැන්සිස්කෝ හි පැවති සාම සමුළුවේදී (peace reading) ජපානය වෙනුවෙන් ප්‍රකාශ කළ ‘වෛරයෙන් වෛරය නොසන්සිදේ ප්‍රේමයෙන් වෛරය සන්සිදේ‘ යන බුදු වදන ජපානයට යළි ජාත්‍යන්තර ප්‍රජාව හා එක් වීමටත් දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානය නැවත ‍ගොඩනැගීමටත් ධෛර්යයක් ගෙන දුන්නා.


    එදා සිට අද වනතුරු වසර 60කටත් වඩා කාලයක් ජපානය විසින් කලාපීය වශයෙන් හා ගෝලීය ව සාමය පවත්වාගෙන යාමටත් සාමකාමී ජාතියක් වශයෙන් සිය අනන්‍යතාව පිළිබිඹු කිරීමටත් කටයුතු කරනවා.


    මෙම තත්ත්වය කිසිදා නොවෙනස් ව පැවතුණා. අපේ අතීතය දෙස බලද්දී මම විශ්වාස කරනවා අපි ශ්‍රී ලංකාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සාමය පිළිබඳ ප්‍රතිපදාව එක ලෙස පවත්වගෙන ගිය බවට. අප රාජ්‍යයන් අතර පවතින ශක්තිමත් සබඳතාවයේදී ශ්‍රී ලංකා ජනතාව ජපානයට පෙන්නුම් කරන ධීරභාවය හා උදාරත්වය තවත් රාජ්‍යයක් හා සසඳන්නට හැකියාවක් නැහැ.


    මෙම වසර ජපානය විසින් ජාත්‍යන්තර සහය ලබා දීම ආරම්භ කර කොළඹ සැලසුම සමඟ හවුල්කරුවන් ලෙස බැඳුණු 60 වසරක සබඳතාව සනිටුහන් කරනවා. ඉදිරියේදීද මෙම ඓතිහාසික සබඳතාව දිගටම පවත්වාගෙන යන බවත් ශ්‍රී ලංකාවට සාමාජීය, ආර්ථික හා දේශපාලන වශයෙන් සහයෝගීතාව හා දායකත්වය උපරිමයෙන් ලබා දෙන බව මෙහිදී ප්‍රකාශ කරනවා.


    ජපාන රජය නියෝජනය කරමින් මෙහි පැමිණෙන යෂුසි අකාශි මහතා බොහෝ දෙනා දන්නා පරිදි ශ්‍රී ලංකා සිවිල් යුද්ධයෙන් පසු සාමය ප්‍රතිස්ථාපනය කිරීමටත් සංවර්ධන ව්‍යාපෘති මෙරට ක්‍රියාත්මක කිරීමටත් සහය දැක්වූවා.


    ජපානය හා ඉතාමත් විශ්වාසවන්ත මිතුරෙක් වන ශ්‍රී ලංකාවට යුද්ධයෙන් පසු ජාතික සමගිය පවත්වාගෙන යන්නටත් අපේක්ෂා කරන ජාතිත සංවර්ධනය අත්පත් කරගැනීමටත් දක්වන සහය ඉදිරියට ද පවත්වාගෙන යන බව අවසානයේදී ප්‍රකාශ කරනවා."


    මෙහිදි ජපන් අග්‍රාමාත්‍ය අබෙ මැතිතුමා සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.


    විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා සහ පාර්ලිමේන්තුවේ සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහත්වරු ස්තූති කතා පැවැත්වූහ.


    අනතුරුව අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මැතිතුමා විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ස්වර්ණ පුස්තකය අත්සන් කිරීම ද සිදු කරන ලදී.


    අගමැති දි.මු. ජයරත්න මහතා, ආණ්ඩු පක්ෂයේ හා විරුද්ධ පක්ෂවල මැතිඇමතිවරු හා රාජ්‍ය නිලධාරීහු, දෙස්විදෙස් මාධ්‍යවේදීහු ද මෙම අවස්ථාවන්ට එක් ව සිටියහ.

     

     

    HC/SDF_pics: news.lk_Yamuni Rashmika

     

    Japans-prime-minister-Shinzo-Abe at parliament Sri Lanka

     

    Japans-prime-minister-Shinzo-Abe at parliament Sri Lanka 1

     

    Japans-prime-minister-Shinzo-Abe at parliament Sri Lanka 2

     

    Japans-prime-minister-Shinzo-Abe at parliament Sri Lanka 3

     

    Japans-prime-minister-Shinzo-Abe at parliament Sri Lanka 4

     

    Japans-prime-minister-Shinzo-Abe at parliament Sri Lanka 5

     

    Japans-prime-minister-Shinzo-Abe at parliament Sri Lanka 6

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya