අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රේෂ්ඨ වෘත්තීය සමිති නායක බාලා තම්පෝගේ අභාවය රටට දැඩි පාඩුවක් - ජනපති

    සැප්තැම්බර් 02, 2014
    වෘත්තීය සමිති නායක බාලා තම්පෝ මහතාගේ අභාවයෙන් ශ‍්‍රී ලංකාවට වැඩ කරන ජනතාවගේ ප‍්‍රගතිය උදෙසා කැපවී සේවය කළ දක්‍ෂ නායකයකු මෙන් ම අධිරාජ්‍යවාදී පාලනයට එඩිතරව සටන් වැදී රටේ ජනතාවට ලැදි සවිමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් බිහි කිරීමට කැපවීමෙන් සටන් කළ ජාතියේ පුත‍්‍රයෙකු අහිමි වී යැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සඳහන් කරයි.
     
    බාලා තම්පෝ මහතාගේ අභාවය පිළිබඳව ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රේෂ්ඨ වෘත්තීය සමිති නායකයෙකු මෙන් ම වැඩ කරන ජනතාවගේ වීරවරයෙකු ද වූ බාලා තම්පෝ මහතාගේ අභාවය රටේ වෘත්තීය සමිති ව්‍යාපාරයට බලගතු පාඩුවක් යැයි ජනාධිපතිතුමා පවසයි.
     
    එම ශෝක පණිවුඩය සම්පූර්ණයෙන් මෙසේය.
     
    ශ්‍රේෂ්ඨ වෘත්තීය සමිති නායකයෙකු මෙන් ම වැඩ කරන ජනතාවගේ වීරවරයෙකු ද වූ බාලා තම්පෝ මහතාගේ අභාවය සම්බන්ධයෙන් මා මේ ශෝක පණිවිඩය නිකුත් කරන්නේ දැඩි සංවේගයෙනි.
     
    මිය යන විට අනූ දෙහැවිරිදි වියේ පසු වූ තම්පෝ මහතා වෙළෙඳ අංශයේ විශාලතම වෘත්තීය සමිති සංගමය වන ලංකා වෙළෙඳ සේවක සංගමයේ මහ ලේකම් ලෙස වසර 66කට වැඩි කාලයක් සේවය කළේය.
     
    ඔහුගේ මහඟු වෘත්තීය සංගම් කාර්යභාරය ආරම්භ වූයේ 1947 වැඩ වර්ජනයට සහභාගී වීම නිසා විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ උද්භිද විද්‍යා කථිකාචාර්යවරයෙකු වශයෙන් කළ සේවය එවක සිටි පාලක අධිරාජ්‍යවාදීන් සහ ඔවුන්ගේ හවුල්කරුවන් විසින් අහිමි කරනු ලැබීමෙන් පසුව ය.
     
    වෘත්තීය සමිති කටයුතු සහ වාමාංශික දේශපාලනයේ නියුතු වූ තම්පෝ මහතා පළමුව ලංකා සම සමාජ පක්‍ෂයේ ක‍්‍රියාකාරී සාමාජිකයෙකු වශයෙනුත් පසුව ලංකා වෙළෙඳ සේවක සංගමයේ නායකයා වශයෙනුත් සියලු වර්ග භේදයන්ගෙන් තොරව කම්කරු ජනතාවගේ ව්‍යායාමයන් උදෙසා සේවය කළේය.
     
    පශ්චාත් ස්වාධීන යුගයේ වෘත්තීය සමිති අරගලයන්ට එඩිතර නායකත්වයක් දුන් ඒ මහතා ලංකා වෙළෙඳ සේවක සංගමය සහ ස්වාමි සම්මේලනය අතර සාමූහික ගිවිසුමක් ප‍්‍රථම වරට ඇතිකර ගැනීම තුළින් වෙළෙඳ සේවක අයිතිවාසිකම් දිනා ගැනීමට මහඟු සේවයක් කළ අතර එම ගිවිසුම සෙසු වෘත්තීය සමිතිවලට ද පූර්වාදර්ශයක් ගෙන දුනි. 
     
    අභාවප‍්‍රාප්ත ඒ.ඊ. ගුණසිංහ මහතා ලිපිකරු සේවකයන් සඳහා සීමා කරමින් බිහි කළ ලංකා වෙළෙඳ සේවා සංගමය එම දෘෂ්ටියෙන් තව ඉදිරියට ගෙන යමින් සියලු ම සේවකයන් නියෝජනය කරන සටන්කාමී වෘත්තීය සංගමයක් බවට පත් කිරීමටත් එහි කි‍්‍රයා පරිපාටිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාවතකට ගෙන ඒමටත් තම්පෝ මහතා සමත් විය. ඔහුගෙන් සිදු වූ තවත් සේවාවක් නම් ලංකා වෙළෙඳ සේවක සංගමයේ සාමාජිකත්වය කර්මාන්ත සහ අනෙකුත් ආයතන සේවකයින් උදෙසාත් පුළුල් කරමින් එය දැනට හැඳින්වෙන පරිදි ලංකා වෙළෙඳ කර්මාන්ත සහ පොදු සේවක සංගමයක් බවට පත් කිරීම ය.
     
    මෙම කම්කරු පංතියේ සහ වාමාංශික පන්තියේ කැපී පෙනෙන නායකයා න්‍යායාත්මක සහ දේශපාලන මතභේද මත ලංකා සම සමාජ පක්‍ෂයෙන් ඉවත්වී විප්ලවකාරී ලංකා සම සමාජ පක්‍ෂයේ ආරම්භක සාමාජිකයෙකු විය. තම්පෝ මහතා වෘත්තීය සමිති ව්‍යාපාරයට වූ කැපවීම නිසා ම නීතිය උගෙන පසුව අපරාධ නීතිය පිළිබඳ විශේෂ දැනුමක් සහිත ව නීතිඥයකු වශයෙන් ද ක‍්‍රියා කළේය. 1971 ජනතා විමුක්ති පෙරමුණ කැරැල්ලෙන් පසු වූ නඩු විභාගයේදී එහි සාමාජිකයින් සඳහා එඩිතර ව අධිකරණයේ පෙනී සිටි තම්පෝ මහතා විනිසුරුවන්ගේ සහ නීතිඥවරුන්ගේ පැසසුමට භාජනය විය.
     
    තම්පෝ මහතාගේ අභාවයෙන් ශ‍්‍රී ලංකාවට වැඩ කරන ජනතාවගේ ප‍්‍රගතිය උදෙසා කැපවී සේවය කළ දක්‍ෂ නායකයකු මෙන් ම අධිරාජ්‍යවාදී පාලනයට එඩිතර ව සටන් වැදී රටේ ජනතාවට ලැදි සවිමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් බිහි කිරීමට කැපවීමෙන් සටන් කළ ජාතියේ පුත‍්‍රයෙකු අහිමි විය.
     
    මේ සංවේගජනක අවස්ථාවේදී මගේ හෘදයාංගම ශෝකය බාලා තම්පෝ මහතාගේ පවුලේ සාමාජිකයන් වෙත පිරිනමන අතර ම ශ‍්‍රී ලංකාවේ ජනතාව සහ වෘත්තීය සමිති ව්‍යාපාරය සමග මාගේ දැඩි ශෝකය බෙදා ගනිමි. 
     
    DB
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya